27 C
Colombo
26/09/2024

තීන්දුවක් ගන්නවා – රනිල් හොඳයි – රාජපක්ෂලා එපා – ෆොන්සේකා

Share with your friends :

පක්ෂය තමාට සලකන්නේ මේ විදියට නම් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට වැඩ කිරීමට සූදානම් නැතැයි සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

තමා එය සජිත් ප්‍රේමදාස මහතාටද ප්‍රකාශ කර ඇති බවත් මේ තත්වය යටතේ තමාට දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවත් ඔහු කීවේය.

“හරි වෙලාව ආවම තීරණයක් ගන්නවා. රටට හොඳ දේ කරනවා.” යැයිද ෆොන්සේකා මහතා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ YOUTUBE වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරිණත උගත් හොඳ පවුල් පසුබිමක් ඇති අයකු බවද ඔහු සඳහන් කළේය

තැනකට ගියාම හැසිරෙන්න දන්න සුදුසුකම් ඇති පුද්ගලයකු බවද ෆොන්සේකා මහතා පැවසුවේය.

වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගන්නාවූ ස්ථාවරය දෙස බලාගෙන සිටිනා බවද ඔහු සඳහන් කළේය.

සභාපති තනතුර සහ කැලණිය සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව තමා තහනම් නියෝගයක් ගත් බවත් එම නියෝගය ජුලි 27 වැනිදා වෙනතුරු තිබෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එක එක්කෙනාට ඕන විදියට තමා එම තනතුරුවලින් ඉවත් කළ නොහැකි බවද ෆොන්සේකා මහතා කීවේය.

තමා පක්ෂය ගැන කලකිරීමක සිටින බව පැවසූ ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය තුළ පිරිසුදු ගමනක් පෙනෙන්නේ නැති බවද සඳහන් කළේය.

බලාපොරොත්තු වූ වෙනස එතැන සිදු නොවන බවද සරත් ෆොන්සේකා මහතා කීවේය.

දයාරත්නායක නමැති හමුදා නිලධාරියා පක්ෂයට ගත් පසු තමා ඒ ගැන විවේචනය කළ බව පැවසූ ෆොන්සේකා මහතා සමග ජන බලවේගය පක්ෂයේද දූෂිතයන් සිටින බව සඳහන් කළේය.

සමග ජන බලවේගයේ පිරිසක් කලකිරීමට පත්වී සිටින බවද ඔහු කීවේය.

තමා දේශපාලනයට ආවේ රාජපක්ෂවරුන් සමඟ දේශපාලනය කිරීමට නොවන බවද ජනාධිපතිවරයා පොහොට්ටුව සමග ඉන්නවනම් තමාට ඒ අනුමත කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

Share with your friends :