27 C
Colombo
27/09/2024

දිනන විකල්ප අපේක්ෂකයා අපි ගේනවා-පාඨලී චම්පික රණවක

Share with your friends :

ජනාධිපතිවරණය ජය ගන්නා විකල්ප අපේක්ෂකයා ගෙන ඒමට සුදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටියේය.

මහරගම, තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මහා සමුළුව අමතමින් එක්සත් ජනරජ පෙරමුණේ වැඩපිලිවෙල පිළිගන්නා සන්ධානයක් සමග හෝ ඕනෑම අපේක්ෂයෙකු සමග එක්වීමට සුදානම් බව කී චම්පික රණවක මන්ත්‍රීවරයා නොඑසේනම් ජනාධිපතිවරණයට අපේක්ෂයෙකු ඉදිරිපත් කරන බව කියා සිටියේය.

“එහෙම නැත්නම් අපි ඉදිරිපත් කරන්නේ හතරවෙනි අපේක්ෂකයා නෙමෙයි. දිනන විකල්ප අපේක්ෂකයා අපි ගේනවා.” යැයි ඔහු අවධාරණය කළේය.

එම කටයුත්තට සුදානම් බව කී මන්ත්‍රීවරයා රැළිවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

“රැළි අපට අදාළ නෑ. රැල්ල හැපෙන වෙරළ අපි ළඟදිම හදනවා රැළි සුනුවිසුනු වෙන්න.” යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මහා සමුළුව අමතමින් අදහස් දැක්වූ පක්ෂයේ ප්‍රධාන ලේකම්, බන්දුල චන්ද්‍රසේකර සඳහන් කළේ ජනරජ පෙරමුණේ නායක පාඨලී සේනාවක් නැති සේනාධිපතියෙක් ලෙස ඇතැම් පිරිස් හඳුන්වාදෙන බව ය. එම සේනාධිපති මේ වන විට රට පුරා ම සේනාව සංවිධානය කරමින් සිටින බව පෙන්වා දෙන චන්ද්‍රසේකර එකී සේනාව අතීතයට නොව අනාගතයට අයිති නවීකාරක සේනාවක් බව ද, සඳහන් කළේය.
රට ගැන සිතන, පරිසරය ගැන සිතන, පීඩාවට පත්වූවන් ගැන සිතන, කොටින්ම මේ අඳුරු අගාධයෙන් රට ගොඩනැගීමට සිතන රට වෙනස් කරන සේනාවක්, එහි සේනාධිනායක නවීන, අනුකාරක නොවූ, ඔබ සහ අපි සැම එක්ක වැඩ කළ හැකි වාසියට යට නොවන නායකයෙක් ලෙස පාඨලී චම්පික හඳුන්වා දිය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

විශාල පක්ෂවල ලොකු, ඇටවුම් බැස තිබෙන දැති රෝද කොපමණ ඇති නමුත් අරමුණක් වෙනුවෙන් කැපවූ කුඩා දැති රෝද වන තම පිරිස එදත්, අදත් ලොකු දැති රෝද කරකවා ජයග්‍රහණ ගෙන ආ බව ද චන්ද්‍රසේකර මෙහිදී කියා සිටියේය.

“ත්‍රස්තවාදය, බෙදුම්වාදය, පවුල්වාදය පරාජය කළ ඒ මහා පෙරළිවල මහා දැති රෝද කරකැවූ කුඩා දැති රෝදය අපියි. මේ ආර්ථික බකොළොත්භාවයෙන් මුදවන්න මෙවරත් ඔය මහා ලොකු දැති රෝද කරකවන කුඩා දැති රෝදය අපියි. එක්සත් ජනරජ පෙරමුණයි..!”

Share with your friends :