ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට
යොමු කොට අනුමැතිය ලබාගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කරනු ලැබූ පෙත්සම රුපියල් ලක්ෂ 5ක නඩු ගාස්තුවකට යටත්ව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 15 වැනිදා) තීන්දු කළේය.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ඉදිරිපත් කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
මෙම පෙත්සම ඉදිරිපත් කළ පෙත්සම්කරු නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කරමින් එම වෘත්තියට නොහොඹිනා ආකාරයෙන් අධිකරණය නොමග යැවීමට කටයුතු කර ඇති බවත් ඔහු අධිකරණ ක්‍රියාදාමය අවභාවිතාවට ලක් කිරීමට කටයුතු කර ඇති බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල චෝදනා කර සිටියේය.
‘පෙත්සම නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකියි’
මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බවත් එය නිෂ්ප්‍රභා කිරීමට මූලික විරෝධතා මතු කරන බව සඳහන් කර සිටියාය.
මෙම නඩුකරය තුළින් මේ වන විටත් නීතිගත වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ නීත්‍යානුකූලයභාවය පෙත්සම්කරු විසින් අභියෝගයට ලක් කර ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම සංශෝධනය මේ වන විටත් පාර්ලිමේන්තුවේ සම්මත වී කථානායකවරයා විසින් අත්සන් තබා නීතිගත වී තිබෙන බවත් පෙන්වා දුන්නාය.
ඒ අනුව කථානායකයාවරයා විසින් අත්සන් තබා සම්මත කර තිබෙන නීතියක නිත්‍යානුකූලභාවය පිළිබඳව විමර්ශනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත ප්‍රකාරව එවැනි කටයුත්තක් කිරීමට හැකියාවක් නොමැති බවත් ඇය සඳහන් කර සිටියාය.
එසේම පෙත්සම්කරු සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන්නේ කෙසේදැයි අධිකරණය හමුවේ කරුණු තහවුරු කිරීමට අපොහොසත් වී ඇති බවත් මූලික අයිතීන් කඩවී මාසයක් ඇතුළත පෙත්සම් ගොනු කිරීමට පෙත්සම්කරු අසමත් වී ඇති නිසා මෙම පෙත්සම නීතිය ඉදිරියේ බලාත්මක නොවන තත්ත්වයක පවතින බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය අවධාරණය කර සිටියාය.
ඒ අනුව මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබුවාය.
‘19 වැනි සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නැහැ’
ඉන් අනතුරුව පෙත්සම ඉදිරිපත් කළ නීතීඥ අරුණ ලක්සිරි අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති බව පෙන්වා දුන්නේය.
2002 වසරේ ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධන කෙටුම්පතේ සඳහන් පාර්ලිමේන්තුව විසුරුවා ඇරීමට අදාළ ප්‍රතිපාදන ඇතුළත් 70 වගන්තිය සංශෝධනය කරන්නේ නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීරණය කර තිබූ බවත් ඔහු විසින් පෙන්වා දෙනු ලැබීය.
එහෙත් 2015 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමේදී එම නීතිමය තත්ත්වයට පිටුපා එය අනුමත කර ඇති බවත් ජනමත විචාරණයකට යොමු නොකොට එය සම්මත කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් නීතිඥවරයා සඳහන් කර සිටියේය.
එම අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රශ්නයක් මතු කරමින්, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නිගමනවලට අනුකූලව යැයි “සඳහන් කළේය.
එහෙත් අගවිනිසුරුවරයාගේ ප්‍රකාශයට එකඟ නොවූ නීතිඥ අරුණ ලක්සිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කිරීමේදී 2002 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගය සැලකිල්ලට භාජනය කර නොමැති බවද පැවසීය.
එම අවස්ථාවේදී නීතිඥවරයා ඇමතූ අගවිනිසුරුවරයා “19 වන සංශෝධනය ඉදිරිපත් කෙරුණේ 2015 වසරේදී. ඒ නිසා ඊට අදාල වන්නේ 2015 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව පමණයි. ඔබ විසින් සඳහන් කළ 2002 වසරේ දී ඇති තීන්දුව මෙම අවස්ථාවට අදාළ කර ගන්න බැහැ.” යනුවෙන් පෙන්වා දුන්නේය.
එහෙත් වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා 2002 වසරේ ලබාදුන් තීන්දුව සැලකිල්ලට නොගෙන පනත් කෙටුම්පත සම්මත කිරීම නීති විරෝධී බව අවධාරණය කළේය.
‘ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව කියවා නැහැ. නැතිනම් ඇස් පේන්නේ නෑ’
එම අවස්ථාවේදී පෙත්සම්කාර නීතිඥවරයා ඇමතූ අගවිනිසුරුවරයා,
“තමුන් සාමාන්‍ය පුරවැසියෙක් නෙමෙයි. නීතිඥවරයෙක්. ඒ නිසා තමුන් මේ ගැන හොඳින් අධ්‍යනය කර කරුණු ඉදිරිපත් කළ යුතුයි. අපිට පේන ආකාරයට තමුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අදාළව 2015 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව කියවා නැහැ. නැතිනම් ඇස් පේන්නේ නෑ” යනුවෙන් පැවසීය.
යළිත් ප්‍රශ්නයක් මතු කළ අග විනිසුරුවරයා “ඔබ සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව වැරදියි කියලද?” යනුවෙන් නීතිඥවරයාගෙන් විමසීය.
ඊට පිළිතුරු දුන් නීතිඥ ලක්සිරි “නැහැ ස්වාමීනි… අධිකරණය නිවැරදිව තීන්දුව දීලා තිබෙනවා. ඊට අනුකූලව එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙලා නෑ.” යනුවෙන් ප්‍රකාශ කළේය.
යළි ප්‍රශ්නයක් යොමු කළ අගවිනිසුරුවරයා ” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්බන්ධයෙන් 2015 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුවේ හැත්තෑ වන වගන්තිය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව සඳහන් කර තිබෙන්නේ කොතැනද? යනුවෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු දුන් නීතිඥවරයා 2002 වසරේ ලබාදුන් නඩු තීන්දුවක් තුළින් ඒ බව අවධාරණය කර තිබෙන බව පෙන්වා දුන්නේය.
එම අවස්ථාවේදී පෙත්සම්කරුට කරුණු පෙන්වා දුන් අගවිනිසුරුවරයා “2015 වසරේ ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නඩු තීන්දුවේ ජනමත විචාරණයට යොමු කළ යුතු කරුණු මොනවාද ? ජනමත විචාරණයකින් තොරව තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි කරුණු මොනවාද? යන්න පැහැදිලිව දක්වා තිබෙනවා. එහෙත් ඔබ සඳහන් කරන කාරණය ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට එම තීන්දුවේ සඳහන් කර නෑ” යනුවෙන් පැවසීය.
ඊට පිළිතුරු දුන් නීතිඥවරයා “ස්වාමීනී… 19 වැනි සංශෝධනය සම්මත කිරීමේදී 2002 වසරේ ලබා දුන් නඩු තීන්දුවක් සැලකිල්ලට භාජනය කරන්න සිදුවෙනවා.”යනුවෙන් සඳහන් කළේය.
යළිත් පෙත්සම්කරු ඇමතූ අගවිනිසුරුවරයා “තමුන් සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි. නීතිඥවරයෙක්. එහෙත් තමුන්ගේ දැනුම සම්බන්ධයෙනුත් අපිට දැන් ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. මෙච්චර පැහැදිලි කරලත් තේරුම් ගන්නේ නැත්නම් තමුන්ගේ දැනුම සම්බන්ධයෙන් අධිකරණයට කල්පනා කරන්න වෙනවා” යනුවෙන් සඳහන් කළේය.
ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ද අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම්කරු ඉදිරිපත් කරන කරුණු තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බැවින් අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ය.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පසුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙත්සම්කරු සඳහන් කරන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය තුළින් 70(1) ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන් කර තිබේදැයි පෙත්සම්කරුගෙන් හතර වතාවක් විමසුවද ඔහු පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති බව සඳහන් කළේය.
මෙම පෙත්සම හරහා පෙත්සම්කරු නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කරමින් නොහොබිනා ආකාරයෙන් ක්‍රියාකර ඇතැයි පෙන්වා දුන් අගවිනිසුරුවරයා ඔහු අධිකරණය නොමග යවමින් අධිකරණ බලය අවභාවිතාවට ලක් කරන ආකාරයේ කරුණු ඉදිරිපත් කර ඇති බවත් පැවසීය.
ඒ අනුව පෙත්සම්කරු ඉදිරිපත් කළ පෙත්සම තුළ කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති හෙයින් එය රුපියල් ලක්ෂ පහක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කරන බවත් නඩු ගාස්තු ජුලි මස 31 වැනිදාට පෙර ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කරුට වැඩිදුරටත් නියෝග කර සිටියේය.