27 C
Colombo
28/09/2024

ජනාධිපතිවරණය එලෙසම – ජනමත විචාරණයෙන් ජනාධිපතිවරණයට බාධාවක් නැහැ

Share with your friends :

ආණ්ඩුව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත
කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට සිදු වුවහොත් ඒ සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර දිය යුත්තේ ද ජනාධිපතිවරයා බව මැතිවරණ කොමිෂන් සභාවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

ඔහු එසේ පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයට පෙර ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනමත විචාරණයක් පැවැත්වීමට සිදු වුවහොත් ඒ සඳහා ජනාධිපතිවරණයට වෙන්කර ඇති මුදල් වැය කිරීමට සිදුවනවා නේදැයි කළ විමසීමේදීය.

අවශ්‍ය ප්‍රතිපාදන ද ඒකාබද්ධ අරමුදලෙන් වෙන්කර දිය යුතුයි

එම ඉහළ නිලධාරියා ප්‍රකාශ කළේ ජනමත විචාරණයක් පැවැත්වීම නිවේදනය කරනු ලබන්නේ ජනාධිපතිවරයා බැවින් එම නිවේදනයට සමගාමීව ඔහු ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනද ඒකාබද්ධ අරමුදලෙන් වෙන්කර දිය යුතු බවය.

නියමිත කාලයට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවීමකදී ද එම මැතිවරණය පිළිබඳ තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයා බැවින් ඔහු පාර්ලිමේන්තු මැතිවරණය සඳහාද අවශ්‍ය මුදල් ඒකාබද්ධ අරමුදලෙන් වෙන්කර දියයුතු බවයි.

එමෙන්ම එම ඉහළ නිලධාරියා අවධාරණය කළේ මෙම වර්ෂය සඳහා මැතිවරණ කොමිසමට වෙන්කර ඇත්තේ නියමිත ජනාධිපතිවරණයට අදාළ මුදල් බවත්, එම නිශ්චිත ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවෙන් එම කරුණ සඳහන් කරමින් මුදල් ප්‍රතිපාදන ඉල්ලන ලද්දේ මැතිවරණ කොමිසම බවත්ය.

එසේම ඔහු තවදුරටත් අවධාරණය කළේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ජනමත විචාරණයක් පැවැත්වීම බාධාවක් නොවන බවයි.

ජනමත විචාරණයක් සඳහා යන වියදම සම්බන්ධයෙන් කළ විමසීමේදී එම නිලධාරියා ප්‍රකාශ කළේ එයද රට පුරා සියලු ඡන්දදායකයින් සම්බන්ධ කරගෙන සිදුකරන මැතිවරණයක් බැවින් ඒ සඳහා ද ජනාධිපතිවරණයක් සඳහා වැයවන මුදලම වැයවන බවයි.

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් මැතිවරණ කොමිසමට වෙන්කර ඇති අතර වියදම් ඉහළ යෑම හේතුවෙන් එම මුදල තවත් ඉහළ යා හැකි යැයිද පැවසේ.

Share with your friends :