27 C
Colombo
19/01/2025

කොටුව මහේස්ත්‍රාත් කෝසලගේ සේවය අත්හිටුවයි

Share with your friends :

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා තාවකාලික වැඩ තහනමකට ලක්කර තිබේ.
සේනාධීර මහතාගේ වැඩ තහනම් කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුවේ නව මහේස්ත්‍රාත්වරිය ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් තනුජා ජයසිංහ පත් කර තිබේ.

මේ අතර ජයසිංහ මහත්මිය කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස පත්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා මහේස්ත්‍රාත් රුවනි ජයවර්ධන මහත්මිය නුගේගොඩ මහේස්ත්‍රාත්වරිය ලෙස පත් කර තිබේ.
කෝසල සේනාධීර මහතා ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ සමයේ ගල්කිස්ස දිසා විනිසුරු නිල නිවසට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් විදුලිය හා ජලය ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන් කොට සුදුසු නිගමනයකට එළැඹෙන තෙක් එකී වැඩ තහනම බලපැවැත්වෙන බව ආරංචි මාර්ග පවසයි.

එම කරුණු සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත 2024.05.08 වන දින කරන ලද පැමිණිල්ලක් අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මූලික විමර්ශනයක් ආරම්භ කොට තිබිණි.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ඇතුළු විමර්ශන කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ප්‍රශ්න ගත සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මහෙස්ත්‍රාත්වරයාගෙන් මෙන්ම තවත් පිරිසකගෙන් ද ප්‍රකාශ සටහන් කොට ගෙන තිබිණි. එකි අනවසර විදුලි රැහැන්වලින් 2023.08.27 වැනිදා පුද්ගලයකුට විදුලි සර වැදීමක් ද සිදුවී තිබූ අතර එකී සිද්ධියෙන් මාස අටකට පමණ පසුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා පැමිණිලි කර ඇති බැවින් විධිමත් විමර්ශනයක් සිදු කිරීම සඳහා යම්කිසි සාධාරණ කාලයක් ගතවනු ඇතැයි ද ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

Share with your friends :