27 C
Colombo
24/11/2024

ඩිවෝන් -රෝස් පෙම්වතුන්ද? පැන්නාද-වැටුනාද?සියල්ල අභිරහස්-අල්ටෙයාර් ඛේදවාචකය

Share with your friends :

කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටී මියගිය සිසු යුවළ ගැන තවත් තොරතුරු රැසක් මේ වනවිට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
කොළඹ 7 ග්‍රෙගරි මාවතේ පිහිටි කොළඹ ජාත්‍යන්තර පාසලේ (CIS) 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු 15ක් වූ මෙම යුවළ මියයාම දිවිනසාගැනුමක්ද? මත්කුඩු භාවිතය නිසා සිදුවූ අත්වැරැද්දක්ද? සෙල්‍ෆි ගසන්නට ගොස් සිදුවූ අත්වැරැද්දක්ද? යන ගැටලු තවම නිරාකරණය කරගන්නට බැරිව ගොස් තිබේ.
මෙලෙස මියගිය පිරිමි සිසුවා ඉන්දියානු ජාතික පියෙකුට දාව උපන් හින්දු භක්තිකයෙකු වන අතර විසුවේ වැල්ලවත්තේය. සිසුවිය විසුවේ කැලණියේය. ඔවුන්ගේ දෙමාපියන්ද එකිනෙකා දැනහඳුනන අතර ඔවුන් දෙන්නා මිතුරන් මිස ඔවුන් අතර පෙම් සබඳතාවක් තිබුණා යයි දෙපාර්ශවයේම දෙමාපියන් පවසා නැත.
සිද්ධිය දිනයේ කළ ක්‍රියාකාරකම් ගැන විමර්ශනයේදී දැන් සැකකරන කරුණු කිහිපයක්ම මතුව තිබේ.

එකක් වන්නේ නිවාස ඒකකයක් හිමි යාළුවෙකුගේ නමක් කියාගෙන ඔවුන් මෙම නිවාස සංකීර්ණයට ඇතුළුවී ඇති බවය. යාළුවාගේ කාඩ් පත නැතිව ඔවුනට විදුලි සෝපාන වල ගමන් කරන්නට බැරි අතර ඔවුන් සතුව එය තිබීමද විමර්ශකයින්ගේ අවධානයට යොමුව තිබේ.
3 වන මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයට ඇතුලුවන්නේද යාළුවාගේ ලියාපදිංචිය අනුව යමිනි.
මෙම සිසු යුවළ මීට පෙර කිහිප අවස්ථාවකම මෙම ස්ථානයට පැමිණ තිබීම නිසා ගොඩනැගිල්ලේ ආරක්ෂක අංශ වලට මොවුන් ගැන වැඩි සැකයක් තිබී නැත.
මේ අතර ඔවුන් කායවර්ධන මධයස්ථානයට ගොස් ඇඳුම් මාරු කරගත් පසු සිසුවා පමණක් ටිකකට පහළට යන අතර ඔහු බාහිරින් එම ගොඩනැගිල්ල දෙසට ආ පුද්ගලයෙකු හමුවේ. එම අවස්ථාවේ මෝටර් සයිකලයකින් පැමිණෙන එම බාහිර පුද්ගලයා සිසුවා අත පාර්සලයක් තබයි.
පොලිසිය හඳුනාගන්නේ ඒ දුම්වැටි බවයි. එම දුම්වැටි සමග මත් වන ද්‍රව්‍ය තිබුනාද යන සැකය දැන් පොලිසියට පැනනැගී ඇත.
67 වන මහලේ හදිසි දොර ඇරගෙන ගොස් ඒ අසළ ඇති කෙටි තාප්පයේවාඩිවී ඔවුන් මත්කුඩු ලබාගන්නා අතරේ වැටුනාද යන සැකය ඒ අනුව පහළවී ඇත.
අඟහරුවාදා සවස මෙම සිසුන් දෙදෙනා මහල් ගොඩනැගිල්ලේ 67 වැනි මහලෙන් වැටී තිබී 3 වැනි මහලේ තිබී සිරුරු සොයා ගත් බව පරීක්ෂණවලදී අනාවරණය විය.

සිසුන් දෙදෙනාම CIS පාසලෙහි පන්තියේ මිතුරන් වන අතර අඟහරුවාදා සවස 2.40 ට පමණ ත්‍රිරෝද රථයකින් පාසල් නිල ඇඳුමින් සැරසී කොම්පඤ්ඤ වීදියේ ඇල්ටෙයාර් මහල් නිවාස ගොඩනැගිල්ල වෙත පැමිණ ඇත.
විමර්ශකයින්ට අනුව, පිරිමි ළමයා සහ ගැහැණු ළමයා ඇතුල්වීමේ දොරටුවේ අල්ටෙයාර් හි ආරක්ෂකයින් වෙත පැමිණ 61 වන මහලේ පදිංචි මිතුරෙකු බැලීමට ඇතුළු වීමට අවශ්‍ය බව පවසා ඇත.

එම මහල් නිවාස ඒකකයට ඇමතීමෙන් පසු ආරක්ෂක නිලධාරියා කිසිවෙකු නොමැති බව ඔවුන්ට දැනුම් දී ඇත. නමුත් පිරිමි ළමයා සහ ගැහැණු ළමයා නිවාස සංකීර්ණයට නිතර පැමිණෙන බැවින් මුරකරුවෝ ඔවුන්ට ඇතුළු වීමට අවසර දුන්හ.

සිසුවා අතේ බෑග් දෙකක්ද සිසුවිය අතේ බෑග් එකක්ද තිබිණි. පසුව දෙන්නා 5 වැනි මහලට ගොස් ඇඳුම් මාරු කරන්නට ව්‍යායාම් ශාලාව භාවිතා කර ඇත. ටික වේලාවකට පසු CCTV දර්ශනවලට අනුව පිරිමි ළමයා යතුරුපැදියකින් ලබා දුන් පාර්සලය ගැනීමට ආපසු බැස ගොස් ඇති බව හඳුනාගන්නට ලැබේ. නැවත 5 වන මහල දක්වා ඔහු යයි.
4.30 ට පමණ ඔවුන් දෙදෙනා අල්ටෙයාර් මහල් ගොඩනැගිල්ලේ 67 වැනි මහලට ගොස් ඇත්තේ එම මහලේ හදිසි පිටවීමේ දොරටුව තිබූ තැනටය.

විමර්ශකයින් විසින් දැක ඇති සීසීටීවී දර්ශනවලට අනුව ඔවුන් දෙදෙනා හදිසි පිටවීමේ දොර විවෘත කර සමීපව පිහිටා තිබූ අඩි හතරක තාප්පයක් මත වාඩි වී ඇති අතර පසුව වැටී තිබේ.

මියගිය සිසුන්ගේ 61 වන මහලේ පදිංචි මිතුරෙකු සිටි බවත්, ඔහු පිරිමි ළමයාට ප්‍රවේශ කාඩ්පතක් ලබා දුන් බවත් ආරංචි මාර්ග සඳහන් කර ඇතත්, මෙම තොරතුරු තහවුරු කිරීම සඳහා පරීක්ෂණ සිදුවෙමින් පවතී.

Altair හි මහල් 70 ක් ඇති අතර, පිටස්තරයින් සඳහා 67 වන මහලෙන් ඔබ්බට ප්‍රවේශය සීමා කර ඇත. හදිසි පිටවීමේ දොරටුවට පිවිසෙන විවෘත පඩිපෙළ අසලින් මියගිය අයගේ පාවහන් සොයාගෙන ඇති අතර ඔවුන්ගේ මළ සිරුරු 3 වන මහලේ එනම් AC ගබඩා කර තිබූ ප්‍රදේශයෙන් සොයා ගත් බව ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත්, විමර්ශනවලට අනුව, විවෘත පඩිපෙළෙන් ඔබ්බට CCTV කැමරා සවි කර නොතිබූ අතර, ඔවුන් 3 වන මහලට වැටුණේ කෙසේද යන්න තවමත් අපැහැදිලි ය. ඔවුන් ගොඩනැගිල්ලට ඇතුළු වී පැය කිහිපයකට පසු ඔවුන්ගේ සිරුරු සොයා ගන්නා ලදී,

ඔවුන්ගේ වැටීම හෝ පැනීම පිළිබඳ ඇසින් දුටු සාක්ෂි නොමැත

මිය ගොස් ඇත්තේ වැල්ලවත්ත හාමස් ඇවිනිව් පදිංචිව සිටි ඩිවෝන් ශුරෝ ෂින් නමැති සිසුවා සහ කැලණිය සපරමාදු පෙදෙසේ පදිංචිව සිටි රෝස් මිරායි ද සේරම් නමැති සිසුවියයි. මියගිය සිසුවිය සහ සිසුවා සීඅයිඑස් ජාත්‍යන්තර පාසලේ 10 වැනි වසරේ එකම පන්තියක ඉගෙනුම ලබන අතර
දෙදෙනා ජාත්‍යන්තර පාසල අසලින් ත්‍රිරෝද රථයකට ගොඩවන අයුරුද එහි සවිකර ඇති සීසීටීවී කැමරාවක සටහන්ව තිබිණි.

සිසුවාගේ සහ සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පැවැත්විණ.මිය ගිය තරුණියගේ පියා නීතිඥවරයකු වන අතර මව ගණකාධිකාරිනියක බවත් මියගිය සිසුවාගේ පියා මෙරට ව්‍යාපාරයක් පවත්වා ගෙන ඉන්දියානු ජාතිකයකු බවත් පොලිසිය පවසයි.දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් තිබුණේ ද යන්න පිළිබඳව ඔවුන්ගේ මවුපියන් දැන සිට නැත. ඔවුන් මෙදින අල්ටෙයාර් වෙත යන බව නිවැසියන් දැන සිට ඇති අතර ඒ මිතුරෙකුගේ සාදයකට බවත් 100 ක් පමණ එහි එන බව නිවසට කියා තිබූ බවත් හෙළි විය.

සිසුවා සහ සිසුවිය 67 වැනි තට්ටුවේ සිට 3 වැනි තට්ටුවේ වායුසමීකරණ කාමරයට වැටීමේ දී ඇති වූ විශාල ශබ්දය ඇසී කම්කරු සේවකයන් පිරිසක් පොලිසියට කළ දැනුම් දීමකට අනුව කොම්පඤ්ඤවිදිය පොලිසිය විමර්ශන ආරම්භ කර සිරුරු සොයා ගනු ලැබීය.
මෙම සිසුන් දෙදෙනා මෙම නිවාස සංකීර්ණයට ඇතුළු වූයේ සියදිවි හානිකර ගැනීමේ අපේක්ෂාව ඇතිව නම් ඇඳුම් මාරු කරමින් නොසිට කෙලින්ම ඉහළ මහලට ගොස් සියදිවි හානි කර ගැනීමට ඉඩ තිබුණු බව විමර්ශනවලදී පොලිසියට පෙනී ගොස් ඇත. මෙම සිසුවාගේත් සිසුවියගේත් හැසිරීම ආරක්ෂක කැමරාවලින් නිරීක්ෂණය කිරීමේදී පවා සියදිවි හානි කර ගැනීමට තරම් මානසික තත්ත්වයක් ඉරියව්වලින් පෙනෙන්නේ ද නැති බව පොලිසිය කියයි.

අනතුරින් පිරිමි ළමයාගේ කකුලක් ගැලවී සිරුරෙන් වෙන්වී තිබුණු බව ද පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් හමුවන්නට ගියා කියන කාඩ්පත ලබාදුන් නිවාස ඒකක හිමිකාර මිතුරාගෙන්ද පොලිසිය ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.
දෙදෙනා එම තට්ටු නිවාසයෙන් වැටුණා ද, පැන්නා ද යන්න පිළිබඳව ස්ථීරයෙන්ම තහවුරු කර ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවද කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.

කොම්පඤ්ඤවිදිය අල්ටෙයාර් මහල් නිවාස ගොඩනැගිල්ලෙහි 67 වන තට්ටුවෙන් වැටුණ සිසු යුවළ සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු පැවැත්වූ අධිකරණ වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.
තවදුරටත් අදාල පරීක්ෂණ කටයුතු කර අවසන් තීන්දුව ඒඅනුව ලබාදෙන්නට නියමිතය.

                                              ‘ඩිලිවරි පාර්සලයක්’

සිසු යුවළ මේ ස්ථානයට එන්නේ ඉමාම් නමැති ඔවුන් දෙන්නාගේ පන්තියේම ඉගෙනුම ලබන පකිස්තාන ජාතික සිසුවෙකුගේ පියාට අයත් නිවාස ඒකකයක් වෙතය. එම නිවාස ඒකකයට මෙම යුවළ මින් පෙර අවස්ථා ගණනාවකදී මිතුරා හමුවට පැමිණ ඇති අතර පිටස්තරයන්ට ඇතුළුවීමට අවසර ගැනීම අසීරු මෙම ගොඩනැගිල්ලට ඔවුන්ට ඇතුළුවන්නට අවසර ලැබෙන්නේ පෙර අවසර ලැබීමේ ප්‍රතිඵලයක් ලෙසය.
කෙසේ වෙතත් ඔවුන් එදින පැමිණෙන අවස්ථාවේ මිතුරා එම ස්ථානයේ නොසිටි නමුත් ඔවුන්ට එහි ඇතුළුවීමට අවසර ලැබේ.
5 වන තට්ටුවේ ශාරීරික ව්‍යයාම කරන ස්ථානයට මුලින්ම ගොස් පාසල් ඇඳුම් මාරුකරන යුවළ අඳුරැ පැහැයට හුරු නව ඇඳුම් හැඳගනී.අනතුරුව සිසුවිය පමණක් එහි සිටියදී සිසුවා යළි පහළ තට්ටුවට පැමිණෙන අයුරු සීසීටීවී වල සටහන්ව ඇත.ඔහු කිසිවෙකුට ‘ලොකේෂන්’ කියමින් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණ නවතා තිබෙන මෝටර් සයිකලයක පුද්ගලයෙකුගෙන් ‘ඩිලිවරි පාර්සලයක්’ ලබාගනී.
ඔහු අතට සිගරට් ලබාදුන් බව පොලිසිය කියයි.

මෙම අවස්ථාවේ ඔවුන්ට මත්ද්‍රව්‍ය ලැබුනේද යන සැකය පැනනැගුණත් අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මෙසේ කීය.
“එවැනි කිසිම ආකාරයක අනාවරණ වීමක් නැහැ… මේ දැනට වෛද්‍ය වාර්තා මෙතෙක් ලැබිලා නැහැ. නමුත් අපිට තියෙන මෙතෙක් කරන ලද නිරීක්ෂන අනුව ඒ දරුවන් මත්ද්රව්ය පාවිච්චි කළ බවට හෝ එවැනි තොරතුරක් අනාවරණ වීමක් නැහැ. නමුත් වෛද්‍ය වාර්තා අනුව තමයි යම් දෙයක් ශරීරගත වෙලා තියෙනවද කියන එක අනාවරණය කරගන්න පුළුවන් වෙන්නෙ'”

මේ අතර යුවළ එදින කළකිරීමකින් සිටි බවත් සිසුවියගේ පාසලින් ඇයව එදින ඉවත් කර තිබූ බවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවතට පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා

“මේ ආකාරයේ කිසිම අනාවරණයක් නෑ පාසලෙන් ඉවත් කළ බවක් හෝ එවැනි තත්වයක් ගැන ආරංචි කිසිවක් නැහැ. ඒ දරුවන් දෙදෙනා ගොඩනැගිල්ල තුළ ඇවිදින්නේ සහ ඉන්නේ බොහොම සැහැල්ලුවෙන් බව තමයි නිරීක්ෂණය වෙන්නේ. ඔවුන් සතුව යම් කිසි ආකාරයකට ලොකු ප්‍රශ්නයක් තියෙන බව හෝ වෙනත් කාරණයක් අපිට අපේ විමර්ශනවලදී නිරීක්ෂණය වෙලා නෑ.”

 

                                             ඔවුන් පෙම්වතුන්ද?

ඔවුන් පෙම්වතුන්ද? යන පැනයට මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ කීය.

“පොලිසියට එවැනි තත්ත්වයක් පිළිබඳව අපට ස්ථිරවම කියන්න බැහැ. නමුත් ඔවුන් දෙදෙනා යහළුවන් විදිහට ආශ්‍රය කළ බවත් නිරීක්ෂණය වෙනවා හැරෙන්නට අපට ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණද කියන කාරණය මෙතෙක් අනාවරණය වෙලා නැහැ. ”

“පැන්නද මේක හදිසි අනතුරක් ද කියලා ස්ථිරවම තාම කියන්න බැහැ. නමුත් මේක ක්ෂණිකව සිදුවූ අනතුරක් වන්නටත් පුළුවන්. පරීක්ෂණ වලදී අපිට කිසිම ආකාරයක සියදිවි නසාගැනීමක් යන කාරණය මෙතෙක් තහවුරු වෙලා නැහැ.

සමාජමාධ්‍යයේ තිබ්බ මේ එක් දරුවෙක් මීට පෙර අවස්ථාවලදී සියදිවි නසාගැනීමට තැත් කරපු අවස්ථා තියෙනවා කියලා ඒ පිළිබඳව නම් අපිට මෙතෙක් විමර්ශන වලදී නිරීක්ෂණය වෙලා නැහැ. මේ අවස්ථාවේ මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පවත්වන නමුත් මීට පෙර තිබුණු තත්ත්වය පිළිබඳ මෙතෙක් වාර්තා වෙලා නැහැ.”

ශිෂ්‍යයාව සහ ශිෂ්‍යයා බිමට පැන්න 67 වැනි මහලේ බැල්කනියේ තිබී ඔවුන් දෙදෙනාගේ සපත්තු යුගල, මුදල් පසුම්බි, ජංගම දුරකථන සහ ‘ඩන්හිල්’ වර්ගයේ සිගරැට් පැකැට්ටුවක් පොලිසිය මගින් සොයාගෙන තිබෙයි.
මොවුන් තමන් සතුව තිබූ සියලු භාණ්ඩ බැල්කනියේ තබා පනින්නට හෝ වැටෙන්නට ආසන්න හේතුව තවම පැහැදිලි නැත.
ඉදිරියට හෙළිවන වෛද්‍ය වාර්තා අනුව මත් ද්‍රව්‍ය ලබාගැනීමක් ගැන හෙළිවුවහොත් මෙම අනතුර සිදුවන්නේ මනස අවුල්වීයාමේ හැසිරීමකින් යයි අනුමානයකට යා හැකිය.

සිසුවිය උස් ස්ථානවලට ගොස් ඡායාරූප ගැනීමේ රුචිකත්වයකින් පසුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා ඇති අතර ඇයගේ ජංගම දුරකථනයේ තිබී එවන් ඡායාරූප කිහිපයක්ම පොලීසිය සොයාගෙන තිබූ බවද කීය.
ඒ අනුව, එලෙස සෙල්ෆී ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේදී අඩි 4 ක් පමණ වූ කෙටි තාප්පයෙන් මොවුන් වැටුණිද යන්න පොලීසිය අනුමාන කරන එක් සැකයකි.

අල්ටෙයාර් ඛේදවාචකය: සිසුවියගේ පියා සිසුවාට බැණ වැදී ටිකකින් පැන්නා

මීට අමතරව මෙම මරණ සිදුවීමට පෙර බහින්බස්වීමක් සිදුව ඇතැයි සැකයක් පවතින බවට තොරතුරක් ලැබී ඇත.
අල්ටයාර් මහල් නිවාසයේ යාළුවන් සිටින බව සිසුවිය හා සිසුවා යන දෙන්නාගේම දෙමාපියන් දැනුවත්ව සිට ඇත. නමුත් මෙදින අල්ටයාර් මහල් නිවාසයට යන බව දෙමාපියන්ට පවසා ඇත්තේ සිසුවා පමණි.
සිසුවිය ගැන පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් එදින එහි යන බවට ඇය සිය මව්පියන් දැනුම්වත් කර නොමැති බවය.
සිය දියණිය නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් ඇයගේ පියා ඇගේ මිතුරා බව දන්නා නිසා සිසුවාට දුරකථනයෙන් අමතා ඇති බව මේ වනවිට වාර්තාවේ. මෙම ඇමතුම සිදුකරන්නේ ඔවුන් බිමට වැටුනා යයි අනුමාන කරන වේලා‍වට ඉතා ආසන්න වේලාවකය.
නමුත්, එම ඇමතුමේදී සිසුවා පවසා ඇත්තේ ඇය තමන් සමග නොමැති බවය. මෙම කාරනාව සිසුවියගේ පියා විශ්වාස කර නැත. නීතීඥ මහතෙකුද වන සිසුවියගේ පියා සිසුවාට සැරෙන් කථාකර ඇති අතර ඔහු බියවද්දා පවසා ඇත්තේ බොරුවක් කරන බව තේරෙන නිසා පොලිසියට දන්වන බවය. සිසුවා එයින් බියට පත්වූ බව පැවසේ.
එයින් පසු ඇමතුම විසන්ධිවී තිබෙන අතර මෙම බහින්බස්වීම මත ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස දෙන්නා ඉහළ සිට පැන්නාද යන්න ගැනද පොලිසියට සැකයක් මතුව තිබේ.
මේ අයගේ දුරකථන වාර්තා සම්බන්ධ විමර්ශනයක් කරමින් පවතින බව පොලිසිය පවසයි.

Share with your friends :