27 C
Colombo
24/09/2024

හිරුණිකා ඇප ඉල්ලයි

Share with your friends :

බරපතල වැඩ සහිත වසර 03 සිරදඬුවම් නියම වූ තමන්ට ඇප නියම කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කළ ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 11 වැනිදා ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නීතීපතිවරයාට අද කල් දුන්නේය.

වසර 09ක කාලයකට ඉහතදී කළ අපරාධයක් සම්බන්ධයෙන් වු චෝදනා 19න් 18කටම වරදකාරිය බවට තීන්දු කරමින් වසර 03කින් ගෙවී යන අන්දමින් තමන්ට නියම කළ වසර 33ක බරපතල වැඩ සහිත සිරදඬුවම සහ රුපියල් ලක්‍ෂ 3 1/2ක දඩය ඉවත දමන්නැයිද අදාළ අභියාචනය විභිග කර තීන්දුවක් දෙනතුරු තමන්ට ඇප නියම කරන්නැයිද ඉල්ලමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය කැඳවු අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ විශ්ව විජේසූරිය මහතා කළ දැනුම් දීමක් සළකා බැලු විනිසුරුවරයා එලෙස නියම කළේය.

අදාළ තීන්දුවට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගොනු කළ මෙම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කර ඇත.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණී.

නඩුවේ මුල් අවස්ථාවේදීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් වශයෙන් කටයුතු කළ ආරක්‍ෂක නිලධාරීන් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිරදඬුවම් සහ රුපියල් 1,65,000/-ක දඩ නියම කළ අතර පැහැරගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයාට රුපියල් 2,85,000/- වන්දියක් ගෙවීමටද නියම කෙරිණි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පමණක් නිවැරදිකරු බව පැවසීම නිසා ඇයට එරෙහි නඩුව විභාග කිරීමට පියවර ගෙන තිබු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇයට එරෙහි අධිචෝදන 19න් 18කටම ඇය වැරදිකාරිය බව තීරණය කරමින් ඇයට දඬුවම් නියම කෙරිණී.

Share with your friends :