27 C
Colombo
29/09/2024

අමතකවූ මතක – චන්ද්‍රිකාගෙන් ෆෙස්බුක් සටහනක්

Share with your friends :

මා රට වෙනුවෙන් කළ ඇතැම් දෑ මටත් අමතක නම් රටේ ජනතාවට ඒවා මතක තිබේවි යැයි සිතීම ම උත්ප්‍රාසජනක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සඳහන් කරන්නීය.

තම අසූ වන උපන් දිනය වෙනුවෙන් ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් බණ්ඩාරනායක මහත්මිය මෙසේද පවසන්නීය.

“අද මා මේ පොළොව මත ගතකළ හැත්තෑ නවවන වසර ගෙවා දමා අසූ වියට ප්‍රවේශ වීමි. මගේ මතකයේ සටහන් වී ඇති කාලයේ සිට මගේ රට වෙනුවෙන්, එහි ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මා කළ කී දෑ බොහෝය.

මට අමතකවත් බොහෝ දෑ තිබිය හැකිය. ඒ ඇතැම් දේ මට ද අමතක නම්, රටේ ජනතාවට ඒවා මතක තිබේවියැයි සිතීම ම උත්ප්‍රාසජනකය. එහෙත් ඊයේ දවස පුරා ලැබුණු, තවමත් ලැබෙන සුබපැතුම්වල මට ආදරය කරන දෙස් විදෙස් ජනතාව සිහිපත් කර තිබූ ඇතැම් මතක මට එක් දෙයක් පසක් කළේ ය.

මා කළ කී දෑ සියල්ල මතක නොතිබුණ ද බොහෝදෙනෙකුට තවමත් මතකයේ රැඳී ඇති පොදු යමක් ඇති බවයි. ඒ, මගේ හදවතේ මේ රට වෙනුවෙනුත්, එහි ජනතාව වෙනුවෙනුත් ඇති ආදරයෙහි අව්‍යාජත්වයයි. එය මට මහත් අභිමානයක් ඇති කළේ ය. දශක ගණනක් පුරා, නොයෙක් විවේචන, අපවාද මධ්‍යයේ වුව, රට වෙනුවෙන් මගේ යුතුකම ඉටු කිරීමට මට ශක්තිය වූයේ ඔබේ ඒ ආදරය බව මම අදට ද විශ්වාස කරමි. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.

Share with your friends :