27 C
Colombo
19/01/2025

මහබැංකුවේ වැරදි රැසක් හෙළිවෙයි

Share with your friends :

ශ්‍රී ලංකා මහ බැංකුව සියයට පනහකින් වැටුප් වැඩි කරගත් ආකාරය වැරදි මෙන්ම සදාචාරාත්මක නොවන බවත් පඩි වැඩි කර ගැනීමට පෙර එහි ප්‍රධානීන්ට රටේ තත්වය සලකා බැලීමට හැකියාව තිබූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම සමාලෝචනය සඳහා පත් කෙරුණු විශේෂ ස්වාධීන කමිටුව සිය වාර්තාවෙන් කරුණු අනාවරණය කර ඇත.

මහා බැංකු ඉහළ සහ පහළ නිලධාරීන් එකම සාමූහික ගිවිසුමක් යටතට ගැනීම වැරදි බවත් සාමූහික ගිවිසුම පුද්ගලයන් පදනම් කරගෙන දෙකට බෙදිය යුතු බවත් එම වාර්තාවෙන් ප්‍රකාශ කර ඇත.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ නිර්දේශ මත මෙම කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබුවේ ඉකුත් මාර්තු මාසයේදී ය.

දිනේෂ් වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සුධර්මා කරුණාරත්න, නිහාල් ෆොන්සේකා, අනුෂ්ක එස් විජේසිංහ, අර්ජුන හේරත් දුමින්ද හුලංගමුවසහ කේ.වී.සී දිල්රැක්ෂි යන මහත්ම මහත්මීහු කටයුතු කළහ.

මහ බැංකුවේ කළමනාකරණ සහයකයන් සහ කාර්යාල කාර්ය සහයකයන් රටේ අනෙකුත් කාර්ය මණ්ඩලය වලට සමාන විය යුතු බවත් මහ බැංකුවේ සේවය කළ පලියට ඒ අයට වෙනම පඩි වැඩි කිරීම් නොකළ යුතු බවත් එම කමිටුව සඳහන් කරයි.
මහ බැංකුවේ සියලු නිලධාරින් ඉල්ලා අස්විය යුතුව ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් ඉහල දැමීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටු වාර්තාව අනුව එම නිලධාරින් ඉල්ලා අස්විය යුතු බවද කිරිඇල්ල මහතා කියා සිටියේය.

‘පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.විපක්ෂය තමයි මුලින්ම පෙන්නුවේ මහබැංකුවේ නිලධාරීන් 70’ක් පඩි වැඩිකරගෙන තියෙනවා කියලා.

ආණ්ඩුව අහක බලන් හිටියා. මේ වාර්තාව අනුව ඇත්තටම මහබැංකු නිලධාරීන් ඉල්ලා අස්වෙන්න ඕනැ.

අපි පාර්ලිමේන්තුවේ කළ චෝදනා මේ වාර්තාවෙන් ඔප්පු වෙනවා.

පාර්ලිමේන්තුවේ නිලධාරීන් කොච්චර පඩි වැඩි කළත් පාර්ලිමේන්තුවේ අනුමැතිය තියෙන්න ඕනෑ.’

මහ බැංකුවේ සියයට හැත්තෑවකින් වැටුප් වැඩිකර ගැනීම ලබන වසර දක්වා අත්හිටුවීමට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව නිර්දේශ කර තිබෙන බව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එමෙන් ම සේවක අර්ථසාධක අරමුදලින් මහ බැංකු සේවකයන්ට වැඩි පොලියක් ලබා දීම නතර කළ යුතු බවටත් එම අරමුදලින් මෙතෙක් ලබා දුන් වරප්‍රසාද නිවැරදි කළ යුතු බවටත් කමිටුව නිර්දේශ කර තිබෙන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මුදල් කාරක සභාව විසින් අනුමත කරන ලද එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

කළමනාකරණ සහායක සහ කාර්යාල කාර්ය සහායක යන තනතුරු සඳහා මහ බැංකුවේ වැඩ කළ පළියට ඉහළ වැටුප් ලබා දිය නොහැකි බවත් එම තනතුරුවල වැටුප රජයේ එම කාණ්ඩයේ වැටුපට සමාන විය යුතු බවත් එම වාර්තාව පෙන්වා දෙන බව ද සඳහන් කළ සභාපතිවරයා මෙසේද කීවේය.

” සිද්ධියට අදාළව කමිටුව විකල්ප පහක් නිර්දේශ කර තිබෙනවා. වසර තුනක සාමුහික ගිවිසුම වැටුප් වැඩි කිරීමට අදාළ නොවන ලෙසට තව වසර දෙකක් දීර්ඝ කිරීමත් එක් නිර්දේශයක්. ඒ වගේම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ලබන වසරේ දී විශ්ලේෂණයක් කරන ලෙසත් නිර්දේශ කර තිබෙනවා.

මූලික වශයෙන් මහ බැංකුව ඉහළ සහ පහළ නිලධාරීන් එක සාමුහික ගිවිසුමක් අනුව කටයුතු කිරීම වැරදි බවත් එම කාණ්ඩ දෙකට බෙදිය යුතු බවත් කමිටුව සඳහන් කරනවා.

අර්ථසාධක අරමුදල ගැනත් වාර්තාව සඳහන් කරනවා. අර්ථසාධක අරමුදලින් පොදුවේ සාමාජිකයන්ට ලැබෙන ප්‍රතිලාභවලට අමතරව මහ බැංකු සේවකයන්ට විශේෂ වරප්‍රසාද දීම කිසිසේත් නොකළ යුතුව තිබූ දෙයක් බවත් එය නිවැරදි කළ යුතු බවත් වාර්තාව සඳහන් කරනවා. මහබැංකුව වැටුප් වැඩිකර ගැනීමට පෙර රටේ තියෙන තත්ත්වය ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුව තිබූ බවත් වාර්තාව පෙන්වා දෙනවා. කමිටුවේ මේ නිර්දේශ මුදල් කාරක සභාවේ බහුතරයෙන් සම්මත වෙලා තියෙනවා. මෙම වාර්තාව මුදල් අමාත්‍යාංශයට යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.

විෂය පථය පුළුල් හෙයින් සම්පූර්ණ විශ්ලේෂණයකට කාලය ප්‍රමාණවත් නොවන බවත් කමිටුව පවසා තිබෙනවා.

Share with your friends :