රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රජයේ විධායක නිලධාරීන්ගේ වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වීම හේතුවෙන් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම.
රජයේ දීපව්‍යාප්ත සේවාවල සහ සමාන්තර දෙපාර්තමේන්තුගත සේවාවලට අයත් විධායක නිලධාරීන් හට බලපා ඇති වෘත්තීය ගැටළුවලට විසඳුම් යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට, අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති නිලධාරී කමිටුව විසින් එකඟතාවය පළ කරන ලද නමුත්, මේ දක්වා ඊට අදාළ විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇත.
විධායක නිලධාරීන් හට බලපා ඇති වෘත්තීය ගැටලු
වසර 08 ක සිට විධායක නිලධාරීන් හට බලපා ඇති බරපතල වැටුප් විෂමතාවයට විසඳුම් ලබා නොදීම.
අධික ජීවන වියදම හා උද්ධමනය ඉහළ යෑමට සාපේක්ෂව වැටුප් හෝ දීමනා ඉහළ නැංවීමක් සිදු නොකිරීම හේතුවෙන් විධායක නිලධාරීන් මුහුණපා ඇති ආර්ථික දුෂ්කරතා.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනීතික හා අත්තනෝමතික තීරණ හේතුවෙන් දෙපාර්තමේන්තුගත විධායක සේවාවන් හට බලපා ඇති උසස්වීම් පිළිබඳ වූ විෂමතාවයට මේ දක්වා විසඳුම් ලබා නොදීම.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ස්වාධීන කිරීම සඳහා ගත යුතු තීරණ රජය විසින් මේ දක්වා නොගැනීම.
ඉහත සඳහන් වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මේ රටේ සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල නියෝජනය කරනු ලබන 18000 කට අධික විධායක නිලධාරීන් දැඩි පීඩාවකට හා අගතියකට පත්ව ඇත.
විධායක නිලධාරීන් විසින් මෙහෙයවනු ලබන නිත්‍ය රාජකාරි වලට අමතරව, රජයේ ප්‍රධානතම සංවර්ධන හා මහජන සේවා වශයෙන් ක්‍රියාත්මක කරනු ලබන අස්වැසුම, උරුමය, කෘෂිකර්ම නවෝදය, කඳුරට දශකය හා විමධ්‍යගත අරමුදල් මත ක්‍රියාත්මක කරනු ලබන සියලුම ව්‍යාපෘති මෙහෙයවීමේ වගකීම විධායක නිලධාරීන් විසින් දරනු ලැබේ.
මේ වන විටත්, රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මගින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම රාජකාරී කටයුතුවලින් ඉවත් වී ඇත. මේ හේතුවෙන් මේ වන විට රුපියල් කෝටි 1200 කට ආසන්න රජයේ ව්‍යාපෘති අතරමග නතර වී ඇත.
විධායක නිලධාරීන් හට බලපා ඇති වෘත්තීය ගැටලු විසඳීම සඳහා රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව රජය වෙත ඉදිරිපත් කරන විසඳුම් යෝජනා.
විධායක නිලධාරීන් හට බලපා ඇති වැටුප් විෂමතා ගැටලු නිවැරදි කර නව වැටුප් ක්‍රමයක් සකස් කිරීම.
ඉහත නව වැටුප් ක්‍රමයක් සකස් කරන තෙක් කඩිනම් සහනයක් වශයෙන් රජයේ සියලු විධායක නිලධාරීන් සඳහා මාසිකව විශ්‍රාම වැටුප් සහිත අන්තර්කාලීන දීමනාවක් ලබාදීම.
රජයේ විධායක සේවාවන්හි III සහ II ශ්‍රේණියේ හා I වන ශ්‍රේණියේ තනතුරු නොදරන නිලධාරීන් සඳහා මාසිකව ප්‍රවාහන දීමනාවක් කඩිනමින් ලබාදීම.
විධායක සේවාවන්හි උසස්වීම් විෂමතාවය නිවැරදි කිරීමට අවශ්‍ය විධිවිධාන වහා ක්‍රියාත්මක කිරීම.
රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යයෙන්ම සිදුකල යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම.
විධායක නිලධාරීන් හට බලපා ඇති වැටුප් විෂමතාවය ඇතුළු වෘත්තිය ගැටලුවලට විසඳුම් ලබාදීම, රජය විසින් තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ජුනි මස 24 දායින් ආරම්භ වන සතියේ සිට දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් වෘත්තීය සමිති විසින් තීරණය කර ඇත.