27 C
Colombo
19/01/2025

ටෙන්ඩර් නැතුව වැඩි මිලට විදුලිය ගන්න ව්‍යාපෘති අත්සන් කරලා-විදුලි ඉංජිනේරු සංගමය

Share with your friends :

විදුලිය ගාස්තු විශාල ප්‍රමාණයකින් අඩු කළහොත් විදුලිබල මණ්ඩලය ඉදිරියට පවත්වාගෙන යෑමට අපහසු තත්ත්වයක් උදාවනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවැසීය.
විදුලි‍ ගාස්තු අනිවාර්යයෙන්ම අඩු විය යුතු වුවත් එය අනවශ්‍ය ලෙස අඩු නොකළ යුතු යැයිද හෙතෙම සඳහන් කළේය.

ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන මණ්ඩලයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවැසීය.
විදුලිබල මණ්ඩලය කලින් මාස හයේදී යම් ලාභයක් ලැබුවා නම් ඉදිරි මාස හයට එහි වාසිය පාරිභෝගිකයන්ට ලැබිය යුතු බවත් මණ්ඩලය දැනට පවතින විදිහට ලොභ උපයන ආයතනයක් නොවන බවත් හෙතෙම අවධාරණය කළේය.

දැනට ආරංචි වන විධියට ඉදිරියේ සහ ඡන්දය හෝ වෙන කිසියම් බලාපොරොත්තුවක් හිතේ තබාගෙන ගෘහස්ථ විදුලිය ගාස්තු සියයට 50කට ආසන්න ප්‍රමාණයකින් පමණ අඩු කර මණ්ඩලය ආයෙත් පාඩු ලබන තැනට පත්කර ජනතාවගේ අප්‍රසාදය ඇති කරවන්න කරන උත්සාහය ද යන්න තම සංගමයට පෙනෙන්නට ඇති බවත්, අසාමාන්‍ය ලෙස මෙලෙස විදුම් බිල අඩු කිරීමෙන් ආයතනයේ මුල්‍යමය තත්ත්වය ඉතා නරක අතට පත්වෙනවා සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු අත්‍යවශ්‍ය අනෙකුත් නව ඉදිකිරිම් විශාල ලෙස අඩපණ වන බැවින් මේ පිළිබඳව සිතා මහජන උපයෝගිතා කොමිසම හරි විධියට බලා කරයි කියා තම සංගමය විශ්වාස කරන බවත් හෙතෙම පැවැසීය.

නව විදුලිබල පනත පසු ගියදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ නමුත් අප විශ්වාස කරන ආකාරයට අධිකරණ තීන්දුව නොතිබෙන්නට නව පනත හරහා විදුලිබල ක්‍ෂේත්‍රය ඉතාමත් නරක තැනක යොමුවීමට ඉඩ තිබු බවත් කීය.

විදුලිබල ක්‍ෂේත්‍රය තවදුරටත් රැක ගැනීමට සහ රටේ ජනතාව කබලෙන් ළිපට ඇද දාන ආකාරයේ රවටන වට පිටාවක් නිර්මාණය කිරීමට දරන උත්සාහය පරාජය කිරීමට ඉතාමත් විමසිල්ලෙන් කටයුතු කරන ලෙස රටට ආදරේ කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් කීවේය.

පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති තුනක් තිබෙන බවත් ඉන් පූනකාරී ව්‍යාපෘතිය මඟින් විදුලි ඒකකයක් ඩොලර් සත 15.60 (රුපියල් 45කට පමණ) සහ ඔට්ටමාවඩු ව්‍යාපෘතිය ඩොලර් ශත 8.75කට ගැනීමත් අදානි සුළං බල ව්‍යාපෘතිය ඩොලර් ශත 8.26ට දීමට සැලසුම් කිරීම වැඩි බැවින් එම ව්‍යාපෘති හරි මිලකට ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් හරි මිලට ගැනීමට ටෙන්ඩර් ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවත් සඳහන් කළේය.

ටෙන්ඩර් ක්‍රමවේදයෙන් පසුගිය මැයි මාසයේදී විවෘත කළ ටෙන්ඩරයේ සූර්ය විදුලි ඒකකයක් සඳහා ඩොලර් ශත 6.00ට වඩා අඩු මිලක් දැනට ලැබී ඇති බවත් එවැනි මිලකට අනිවාර්යයෙන්ම පැමිණිය යුතු බවත් ලොව අන් රටවල මිල ඩොලර් ශත 2ටත් වඩා අඩු බවත් සඳහන් කළේය.

ඉදිරියේදී විදුලි සමාගම් ඇති වුවහොත් එම සමාගම් ආ විගස විදුලි බිල වැඩි කරනු ඇති බවත් ගෘහස්ථ විදුලිය මිල සියයට 50කට ආසන්න ප්‍රමාණයකින් අඩු කිරීම ඇස් බැන්දුමක් විය හැකි බවත් කීය.

Share with your friends :