27 C
Colombo
19/01/2025

පොලිසියේ හිටපු ලොක්කෝ රවීට – ශානිට එරෙහි වෙති

Share with your friends :

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර යන මහත්වරුන් ඇතුළු විශ්‍රාමික පොලිස් නිලධාරීන් ජාතික ජන බලවේගයට එක්වීමට විරෝධය පළකරමින් විශ්‍රාමික පොලිස්පතිවරුන් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ එකමුතුවක් කෝට්ටේ සෝලිස් හෝටලයකදී මාධ්‍ය හමුවක් පැවැත්වීය.

එම මාධ්‍ය හමුවට හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ඇතුළු හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගිවූ අතර හිටපු පොලිපතිවරයා පැවැසූවේ වසර 150 ක් පමණ පැරැණි කීර්තිමත් ඉතිහාසයක් ඇති පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනයට රැගෙන ගොස් අපකීර්තියට පත් නොකර ලෙසත් එකල භීෂණ සමයේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව විමර්ශන පැවැත්වූ නිලධාරීන්ම මේවනවිට ඒවාට සම්බන්ධ යැයි පැවැසෙන පුද්ගලයන්ට එකතුවීම පොලිස් දෙපාර්තමේන්තුවම කම්පනයට ලක්වී ඇති බව පැවැසුවේය.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිව යුතු ප්‍රධානම නිලධාරීන් දෙදෙනා ජාතික ජනබලවේගයේ පොලිස් සාමුහිකයේ ඉදිරිපෙළින්ම සිටින බවත් සහරාන්ගේ කණ්ඩායම 2018 වසරේ වව්නතිව් පොලිස් මුරපොළක සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා එකල පොලිස්පතිවරයා විසින් එම උසස් නිලධාරීන් දෙදෙනාට ලබාදුන්න ද ඔවුන් එම ඝාතනය සම්බන්ධයෙන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පිට පටවා සහරාන් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමේ විමර්ශන වසා දැමූ බවත් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා කීය.

නැගෙනහිර පළාත බාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක, ජාත්‍යන්තර පොලිස් සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති විශ්‍රාමික පොලිස් අධිකාරී නොර්ටන් ද සිල්වා, විශ්‍රමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ, දෙපාර්තමේන්තුව බාරව සිටි විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ, විශ්‍රාමික පොලිස් අධිකාරී ජයන්ත හේරත් ඇතුළු මහත්වරු එහිදී අදහස් දැක්වූහ.

Share with your friends :