27 C
Colombo
16/11/2024

නීතිපති සංජය රාජරත්නම්ගේ සේවා දිගුව කල් යයි ?

Share with your friends :

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සම්බන්ධයෙන් දෙවෙනි දිනයටත් අවසන් තීන්දුවක් ගැනීමට නොහැකිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (10) අවසන්වී ඇත.

මේ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 18 වැනිදා නැවතත් රැස්වීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද සහභාගිවී තිබුණේ සූම් තාක්ෂණය ඔස්සේය. ඔහුට එම සභාවට පෞද්ගලිකවම සහභාගිවී ඒ ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බවට කරුණු ප්‍රකාශ වීමෙන් රැස්වීම මෙසේ කල් ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

රාජරත්නම් මහතාගේ සේවා කාලය මේ මස අග අවසන්වීමට නියමිතය.

ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මෙරට 48 වැනි නීතිපතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ 2021 වර්ෂයේ මැයි මස 26 වැනිදා දිවුරුම් දුන්නේය.

මේ අතර මෙරට ඉතිහාසයේ කිසිඳු අවස්ථාවක නීතිපතිවරයාට සේවා දිගුවක් දී නොමැති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

නීතියේ සාධාරණත්වය ඉටු කිරීමට නීතිපතිවරයාට සුවිශේෂී වගකීම් සමුදායක් හිමිවන බවත් 1948 පසු නීතිපතිවරයෙකුගේ සේවා දිගුවක් දුන් පළමු අවස්ථාව මෙය බවත් ඒ මහතා කීය.

නීතිපතිවරයාගේ නිල කාලය මාස හයකින් ජනාධිපතිවරයා දීර්ඝ කළහොත් නීතිපති ධූරයෙහි ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වන බව කී පීරිස් මහතා පැවසුවේ ජනාධිපතිවරණය පැවැත්වීමේ ක්‍රියාදාමය තව දින 34 කින් ආරම්භ වන නිසා මැතිවරණ කාලසීමාවක් තුළ නීතිපතිවරයාගේ ධූරය දීර්ඝ කිරීම සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් බව ද සඳහන් කළේය.

මේ අතර නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දීමෙන් පසු ඔහු මෙරට මීළඟ අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමේ සුදනම්ක් සම්බන්ධයෙන් මෙරට නීති හා දේශපාලන අංශවල දැඩි කතාබහට ලක්ව තිබේ.

Share with your friends :