27 C
Colombo
19/01/2025

‘‘ජනපති කතෝලික සභාව නොමඟ යැව්වා‘‘ කාදිනල් මැල්කම් රංජිත් හිමි

Share with your friends :

පාස්කු ප්‍රහාරයේ ඉදිරි පරීක්ෂණ සම්බන්ධව රජය සමග කතෝලික සභාව එකඟ වූ සාකච්ඡාවෙන් ඉවත් වන්නට සිදුවූයේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයක් නිසා බව කාදිනල්මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවැසූහ.

ජනාධිපතිවරයා කතෝලික සභාව පාවිච්චි කරමින් කරන්නට උත්සාහ කළ ලාබ දේශපාලන යටිකූට්ටු වැඩපිළිවෙළ තමන් හට හෙළිදරව් වූ බව ද කාදිනල්තුමෝ එහිදී කීහ .
දෙවොලපොළ වඩුමුල්ල යහපත් අනුශාසනාදායක මාතා දේවස්ථානයේ 75 වැනි සංවත්තරය සහ වා ර් ෂි ක මංගල්‍යය සැමරීම වෙනුවෙන් පැවැති දේව මෙහේදී කාදිනල් තුමෝ මේ බව ප්‍රකාශ කළහ.
පාස්කු ප්‍රහාරය ගැන කතා කරන විට අපි නිතරම අවදියෙන් ඉන්නේ. ඒක අපේ වගකීමක්. අපේ සහෝදර සහෝදරියන් ,සංචාරක හෝටල්වලට පැමිණි විදේශිකයන් ඇතුළු 274 දෙනකු අමු අමුවේ ඝාතනය කළා . ඒක තමයි අවුරුදු තිහක් ලංකාවේ තිබුණු අවාසනාවන්ත යුද්ධයෙන් පස්සේ සිදුවුණු ඉතා භයානකම ත්‍රස්තවාදී ප්‍රහාරය. ඒ නිසා ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය ලෙස අපි ඉල්ලා සිටියේ නිතරම කරුණාකරලා විනිවිද පෙනෙන විමර්ශනයක් කරන්න කියලා . ඒ කියන්නේ එක එක දේශපාලන පක්ෂවලට ඒ අයගේ වැරදි වහගන්න කරන විමර්ශනයක් නෙවෙයි. විනිවිද පෙනෙන හැමෝටම දැකගන්න පුළුවන් ආකාරයේ අවංක විමර්ශනයක් කරන්න කියලයි අපි ඉල්ලා සිටියේ . දැන් ඡන්දයක් එන නිසා විවිධ කණ්ඩායම් කීපයක් ඒගොල්ලන්ගෙ ප්‍රතිපත්ති සහ පාස්කු ප්‍රහාර විමර්ශනය ගැන මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා අපට දැනුම් දීලා තියෙනවා. රදගුරු මණ්ඩලය ඒ ගැන සතුටු වුණා. ඒ වගේම දැන් පවතින රජයත් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට අවශ්‍යයි කියලා අපිට දැනුම් දුන්නා .අපි ඒකට සතුටු වුණා. ඒ නිසා අපි ඒ අයත් එක්ක සාකච්ඡා කරන්නට ඉදිරිපත් වෙච්ච වෙලාවේදී ඒ සාකච්ඡාව අවංක චේතනාවකින් කරන ලද ආරාධනයක් නොවන බව පැහැදිලි වන ආකාරයේ ප්‍රකාශයක් අපේ රටේ නායකයා විසින් කරනු ලැබුවා .එනම් මේ කටයුතුවලදී තම කමිටුවකට පත්වීම් ලබන නිසා නීතිපතිතුමා එතුමාගේ කාලය තව මාස හයකින් දීර්ඝ කරනවා කියලා ජනාධිපතිතුමා කළ ප්‍රකාශය එය සම්පූර්ණයෙන්ම අප නොමග යැවීමක් හැටියටයි අපි දකින්නේ. මොකද නීතිපතිතුමා කියන්නේ එක්කෙනෙක් නෙමෙයි එතුමාගේ කාලය අවසන් වුණාම තවත් නීතිපති කෙනෙක් පත් කරගන්න පුළුවන් . අපට ප්‍රශ්නයක් නෑ. නීතිපතිතුමාගේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධව රදගුරු මණ්ඩලයෙන් අහන්න කියන එක මහා මෝඩ කතාවක්නේ. රදගුරු මණ්ඩලය දන්නවයැ නීතිපතිතුමාගේ සේවා කාලයේ දික් කරන්නට මොනවද හේතු වුණේ කියලා .අපි දන්නේ නැහැනේ . අපෙන් අහන්න කියන එක මහ මෝඩ වැඩක් .අපිව අමාරුවේ දාන්න කරන වැඩක් .රදගුරුතුමන්ලව අමාරුවේ දාන්න කරන වැඩක් .ඇයි අපිට බැහැනේ නීතිපතිතුමාගේ සේවය දික් කරන්න . එහෙම කරන්න හේතුව මොකක්ද කියලා අපි දන්නෙත් නැහැ .ඉතින් ජනාධිපතිවරයා එහෙම කීම තුළ අපි දැක්කා යම් ආකාරයක යටිකූට්ටු වැඩපිළිවෙළක් .ඒ නිසා අපට සිද්ධ වුණා ඒ සාකච්ඡා ප්‍රතික්‍ෂේප කරන්නට ඒ වගේම අපිව පාවිච්චි කරමින් යුක්තිය ඉෂ්ට කිරීමට උත්සාහ කරනවා කියලා පෙන්වමින් ජනතාවගේ හිත දිනා ගැනීමට සහ ඡන්දයට එය පාවිච්චි කරන්නට යම්කිසි කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඒක අවංක චේතනාවකින් කරන වැඩක් නොවන බවත් පැහැදිලියි.

කමරාගොඩ මීසම බාර ටිරෝන් අජිත් පියතුමාගේ අනුශාසනාව සහ මෙහෙයවීම මත දේවස්ථාන කිතුණු සංඝය මගින් සංවිධානය කර තිබූ මෙම ජුබිලි මංගල්‍යය සහ දේව මෙහෙය සඳහා ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ බොදුනු ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ. මංගල්‍යය කටයුතු වෙනුවෙන් දේවස්ථානයේ වැඩ කටයුතු රැසකට ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලබා දී තිබීම කැපී පෙනෙන්නට තිබිණ.

Share with your friends :