27 C
Colombo
17/11/2024

ඉන්දීය විපක්ෂ නායක ධුරය රාහුල් ගාන්ධිට

Share with your friends :

ඉන්දීය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින ඉන්දීය කොන්ග්‍රසයේ රාහුල් ගාන්ධි විපක්ෂ නායක ධුරයට තෝරාගෙන තිබේ.

රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රසය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ඉන්දියාවේ සියලු විපක්ෂ දේශපාලන කණ්ඩායම් හවුල් කර ගනිමින් ‘ඉන්දියා’ යන නමින් නම් කළ විපක්ෂ සන්ධානයෙනි. එය ආසන 234 ක් ජය ග්‍රහණය කර තිබේ.

මෙවර මහ මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂය තනිවම ආසන 100 ක් දිනා ගත්තේය. එය කොංග්‍රස් පක්ෂය ලැබූ විශාල ජයග්‍රහණයකි. 2019 මහ මැතිවරණයේ දී කොංග්‍රස් පක්ෂයට තනිව හිමි වූයේ ආසන 52 ක් පමණි.

රාහුල් ගාන්ධි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ රායිබරේලි සහ කේරළයේ වයනාද් යන ආසන නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලෝක් සභාවට ඉදිරිපත් වුණු අතර, ඔහු ඔහුගේ ආසන පහසුවෙන් ජයග්‍රහණය කළේය.

පසුගිය පාර්ලිමේන්තුවේ රාහුල ගාන්ධිගේ මන්ත්‍රී ධුරය පවා අහිමි කරන්නට භාරතීය ජනතා පක්ෂය උත්සහ කල අතර එය අවසානයේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත්වී අදාළ තීරණය අහෝසි කරවන ලදී.
රාහුල ගාන්ධි වෙත ඉන්දීය මාධ්‍ය යොදවා ගෙන දැඩි මර්දනයක් ක්‍රියාත්මක කල අතර ඔහුගේ ප්‍රතිරූපයට දැඩි ලෙස හානි කරන්නට භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම් කටයුතු කරන ලදී. එහෙත් ඉන්දීය ජනතාව ඒ සියල්ලටම මැතිවරණයේදී පිළිතුරු දී තිබේ.
රාහුල ගාන්ධි යනු රජීව් ගාන්ධිගේ හා සෝනියා ගාන්ධිගේ පුතුණුවන් වන අතර ඔහුගේ මිත්තනිය ඉන්දිරා ගාන්ධිය. ඉන්දිරාගේ පියා නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහල් ලාල් නේරු ය.

Share with your friends :