27 C
Colombo
19/01/2025

ශ්‍රීලංකාව බංගලියන්ටත් පැරදෙයි – අසාර්ථකත්වයට ශ්‍රීලංකා ක්‍රිකට් නිහඬයි

Share with your friends :

දුර්වල පිතිකරණය හේතුවෙන් පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව අද (08) දෙවැනි තරගයත් පරාජයට පත්වුණි.

ශ්‍රී ලංකා පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියක බංග්ලාදේශය හමුවේ පරාජයක් ලැබු පළමු අවස්ථාව මෙය වෙයි.

ඩලස් හි ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 124කට සීමා කිරීමට බංග්ලාදේශය කණ්ඩායම සමත්විය

ලකුණු 125ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශට දැඩි පීඩණයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණේ, පළමු කඩුළු 3 ලකුණු 28ක් තුල දවාගනිමිනි.

බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත විවර වුයේ වනිඳු හසරංග යැවූ 12 වැනි පන්දුවාරයේදී තව්හිද් හ්‍රිදෝයි පිට පිට එල්ල කළ හයේ පහර 3ත් සමගය.

18 වැනි පන්දුවාරය නිමාවෙද්දී ශ්‍රී ලංකා නිත්‍ය පන්දු යවන්නන් සිව්දෙනාගේ පන්දුවාර 16 යොමු කර අවසන්ව තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පිළිබඳ තබා තිබු බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවුණි.

අවසන් පන්දුවාර දෙකට කඩුළු දෙකක් අතැතිව බංග්ලාදේශය ලකුණු 11ක් රැස්කරගත යුතුව තිබුණත් අවසන් පන්දුවාර දෙක යැවීම සඳහා තරගය තුළ එතෙක් පන්දු නොයැවූ දසුන් ශානක හෝ ඇන්ජලෝ මැතිව්ස් අතරින් එක් පන්දු යවන්නෙක් තෝරාගැනීමට වනිඳුට සිදුවී තිබුණි.

19වැනි පන්දුවාරය යැවීමේ වගකීම දසුන් ශානකට පැවරුණු අතර එම පන්දුවාරයේදී ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 11 රැස් කරගනිමින් බංග්ලාදේශය තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණි.

එම පරාජයත් සමග ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට තිබෙන අවස්ථාව තවදුරටත් අවම මට්ටමකට පත්වුණි,

ශ්‍රී ලංකාවට සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාවට ඇති ඉතිරි තරග දෙකම ජයගෙන දකුණු අප්‍රිකාව හෝ බංග්ලාදේශය ඔවුන් සහභාගී වන ඉතිරි තරගවලින් දෙකක් පරාජයට පත්විය යුතුය.

බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (08) පැවැති තරගයෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග සහභාගි නොවීය.

ඒ වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර සහ කණ්ඩායම් කළමණාකරු සහභාගී වුවත් මාධ්‍යවේදීන් නැගූ බොහෝ ප්‍රශ්ණවලට ඔවුන් නිරුත්තර විය.

මාධ්‍යවේදියා – ටෙස්ට් සංචිතයේ ඉන්න ඕන පිතිකරුවන් 20-20 සංචිතයේ ඉන්නවා. නමුත් වේගයෙන් පන්දුවට පහරදෙන පිතිකරුවෝ එළියේ ඉන්නවා. මේකද පරාජයට හේතුව?

ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකරු මහින්ද අලංගොඩ – තේරීම් කමිටුවට තමයි ඒක යොමු කරන් ඕනේ. නමුත් තව ලකුණු රැස් කරන්න තිබුණා. ඒක මම පිළිගන්නවා.

මාධ්‍යවේදියා – අපි දැක්කා නුවන් ඔයා ගොඩක් හොඳින් පන්දු යවලා අවසන් මොහොත දක්වා තරගය ගෙනාවා. ඔබ හිතන්නේ නැද්ද තරගය මැදදි තව පන්දුයවන්නෙකු පන්දු වාරයක් යැව්වා නම් තරගය බේරගන්න තිබුණා කියලා.

නුවන් තුෂාර – නායකයෙක් විදිහට වනිඳු තමයි තීරණය ගත්තේ. මම ක්‍රීඩා කරන්නේ කණ්ඩායමට ඕනේ විදිහට.

Share with your friends :