27 C
Colombo
19/01/2025

වාහන තහනම අස්සේ ශ්‍රීලංකාවට වාහන දහස් ගණන් ගෙන්වලා

Share with your friends :

ශ්‍රීලංකාවට තම විදේශ විනිමය මුදල් එවන විදෙස්ගත ශ්‍රීලාංකිකයන් සඳහා විදුලි වාහන තීරු බදු සහන යටතේ ගෙන්වීමට ලබාදුන් පර්මිට් වලින් ගෙන්වන ක්‍රමය උපයෝගී කරගෙන සංවිධානාත්මක ව්‍යාපාරිකයන් විසින් ගෙන්වන ලද අතිසුඛෝපභෝගී වාහන විශාල ප්‍රමාණයක් පැලවත්ත ප්‍රදේශයේ වාහන අලෙවි ස්ථානයක විකිණීමට ඇති බවට ජනතාව සඳහන් කරති.
මේ වාහන සඳහා උන්දියල් ක්‍රමයට ශ්‍රීලංකාවේ සිට මුදල් යවා ඒවා ශ්‍රීලාංකිකයන්ගේ බැංකු ගිණුම් හරහා නැවත ශ්‍රීලංකාවට ඒවා අදාළ පර්මිට් ලබා ගෙන තිබේ. මේවා කිසිදු බාධාවකින් තොරව ඉතාම ඉහල මිලගණන් යටතේ සාමාන්‍ය ජනතාවට අලෙවි කිරීම සිදුවන බව සඳහන්ය.
මේ අතර ආනයන සීමා පැනවූ සමය තුළ රථ වාහන 44,430ක් වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. ඒ අතර යතුරු පැදි 38,144ක් සහ කාර් රථ 6,286ක් වෙයි.දේශීය රථවාහන නිෂ්පාදකයන් පිරිසක් සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක් දී මෙම තොරතුරු අනාවරණ විය.

රථ වාහන ආනයන සඳහා සීමා පනවා තිබුණ ද කොටස් එකලස් කර අලෙවි කිරීම මේ වන විටත් සිදු වෙමින් පවති. මෙම සාකච්ඡාව සඳහා දේශීය වශයෙන් රථ වාහන නිෂ්පාදනය කරන සමාගම් රැසක් නියෝජිතයන් එක්ව සිටි අතර රථ වාහන ආනයන සඳහා අවසර ලබා දීම පිළිබඳ එහි දී ගැඹුරින් සාකච්ඡා කෙරිණි. ඔවුන් සඳහන් කළේ ආනයන සීමා ඉවත් කිරීමේ දී සිය දේශීය එකලස් කිරීමේ ව්‍යාපාර පිළිබඳව ද අවධානය යොමු කරන ලෙසයි.

ශ්‍රී ලංකාව තුළ රථ වාහන නිෂ්පාදනය සඳහා මෙම ආනයන සීමා පැනවීම යම් උත්තේජනයක් වී ඇතැයි පැවසූ ඔවුන් කියා සිටියේ රටක් වාහන නිෂ්පාදනය ආරම්භ කිරීම යනු දිගු කාලීන ක්‍රියාවලියක් බවයි. අමාත්‍ය සියඹලාපිටිය මහතා එහි දී දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීම කෙරෙහි රජය නිරන්තරයෙන් සහය දක්වන බවයි සඳහන් කර සිටියේය.

Share with your friends :