27 C
Colombo
17/11/2024

ශ්‍රීලංකාවේ ක්‍රිකට් පරාජයට වගකිවයුත්තෝ

Share with your friends :

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයෙන් ශ්‍රීලංකාව පරාජය වීමට ප්‍රධානතම හේතුව එම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කිරීම බව බොහෝ විචාරකයින්ගේ මතයයි.
මුලින් පන්දු යැවීම තෝරාගත්තේ නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස්වන්නට බොහෝ ඉඩ තිබිණි.
නිව්යෝක් හි නසාවු ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 6ම ලකුණු 45ක් තුළ දවා ගැනීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත්විය.

පැතුම් නිස්සංක ලකුණු 3කට දැවී ගිය අතර කමිඳු මෙන්ඩිස් රැස් කළේ ලකුණු 11ක් පමණි.

නායක වනිඳු හසරංග සහ සදීර සමරවික්‍රම ලකුණු නොලබාම යළි හරවා යවන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුහ.
පිටපිට කඩුලු දැවී යද්දී පිතිකරුවන් කිසිවකුත් කිසිදු වගකීමක් නොමැතිව කටයුතු කරමින් තම විකට්ටු පුජා කරනු දැක ගත හැකි විය.

මේ අතර අමෙරිකාවේ ෆ්ලොරීඩා නුවර සිට නිව්යෝර්ක් දක්වා පැමිණි විශේෂ ගුවන් යානය ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකා, අයර්ලන්ත සහ දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් දැඩි අපහසුතාවට පත්ව තිබේ.

අදාළ විශේෂ ගුවන් යානය ෆ්ලෝරීඩා නුවරින් පිටත්වීමට නියමිතව තිබූ වේලාවට වඩා පැය 7කට වැඩි කාලයක් ප්‍රමාද වූ බව පැවසේ.

ශ්‍රී ලංකා, අයර්ලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් ෆ්ලොරීඩා හිදී පැවති පුහුණු තරගවලින් අනතුරුව ලෝක කුසලාන මූලික වටයේ තරගවලට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් වෙත පැමිණීමට නියමිතව තිබුණි.

ඔවුන්ට නිව්යෝර්ක් වෙත පැමිණීම සඳහා විශේෂ ගුවන් යානයක් වෙන්කර තිබූ අතර එම ගුවන් යානය මෙලෙස පැය 7කට වැඩි කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් ක්‍රීඩකයින් දැඩි අපහසුතාවකට පත්ව තිබේ.

එම සම්පූර්ණ කාලයම ක්‍රීඩකයින් රැඳී සිට තිබෙන්නේ ෆ්ලොරීඩා ගුවන් තොටුපොළ තුළය.

ඒ අනුව මැයි 31 වන සිකුරාදා රාත්‍රී 8ට නිව්යෝර්ක් වෙත ලඟාවීමට නියමිතව සිටි ක්‍රීඩකයින් නිව්යෝර්ක් වෙත ලඟාවී ඇත්තේ ජුනි 1 වන සෙනසුරාදා අලුයම 5ටය.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නිව්යෝර්ක් හිදී සෙනසුරාදා උදෑසන පැවැත්වීමට සැලසුම්කර තිබූ පුහුණු සැසිය අවලංගු කර එම සැසිය සෙනසුරාදා සවස පැවැත්වීමට සිදුවිය.

එහිදීද ඔවුන්ට උදෑසන සැලසුම් කර තිබූ පිතිකරණ සැසිය වෙනුවට සහභාගීවීමට හැකිවූයේ පන්දු රැකීමේ සැසියකට පමණි.

එමෙන්ම දකුණු අප්‍රිකා තරගයට පෙර උදෑසන පැවැත්වීමට සැලසුම් කර තිබූ අවසන් පුහුණු සැසියද අවලංගු කෙරුණි.

ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම නිව්යෝර්ක් හි නවාතැන්ගෙන සිටින හෝටලයේ සිට තරග පැවැත්වෙන නසාවු ක්‍රීඩාංගණයට බසයෙන් ඒමට පැය එක හමාරක පමණ කාලයක් ගත වන අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එය දැඩි අවාසියක් වී තිබේ.

ගුවන්ගමන් ප්‍රමාදය සහ තරගාවලියේ සංවිධාන කටයුතුවල තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා, අයර්ලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක්ද ඉදිරිපත්කර තිබේ.
මේ අතර ශ්‍රීලංකාවේ ක්‍රිකට් බලධාරීන් රැසක් ඇමරිකානු සංචාරයට එක්ව සිටියද ඔවුන් කිසිවකුත් මේ ප්‍රශ්න සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු දැක ගත නොහැකි විය.

Share with your friends :