27 C
Colombo
19/01/2025

ගංවතුරෙන් මරණ 16 ක්-පිරිසක් අතුරුදහන් – හානි රැසක්

Share with your friends :

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 16ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් වාර්තා කරන්නේ මේ වනවිට පවුල් 21,353ක පුද්ගලයින් 84,749ක් පීඩාවට පත්ව ඇති බවය.

කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඉංගිරියට නුදුරු නම්බපාන ප්‍රදේශය මේ වනවිට දරුණු ගංවතුර අවදානමකට මුහුණ දී ඇති අතර, මේ හේතුවෙන් රත්නපුර – පානදුර ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.

ඒ අනුව රත්නපුර – පානදුර මාර්ගය තාවකාලිකව ඉංගිරියට නුදුරු නම්බපාන ප්‍රදේශයෙන් වසාදමා ඇති අතර, පොදු ප්‍රවාහන සේවා සියල්ල ඉංගිරියේ සිට පානදුර දක්වා පමණක් ක්‍රියාත්මකව පවතී.

ඉංගිරිය අවට පහත් බිම් රැසක්ද මේ වනවිට ජලයෙන් යටව පවතින අතර, ඒ අනුව නම්බපාන, ඌරුගල, දිවුල්පොත, ගාල්ලෙගම ආදී ප්‍රදේශ රැසක ජනතාව ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.

පවතින තත්ත්වය හමුවේ ඉංගිරිය පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හොරණ ප්‍රාදේශීය සභාව, විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇතුළු රාජ්‍ය අංශ නිලධාරීහු ප්‍රදේශවාසීන්ද සමඟ එක්ව ජනතාවට සහන සැළසීමේ කටයුතුවල නිරතව සිටින අතර, හොරණ ප්‍රාදේශීය සභාව විසින් බෝට්ටු සේවයක්ද මේ වනවිට ක්‍රියාත්මක කර තිබේ.
නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් වේරගම්පිට සහ උයන්වත්ත ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම ආරම්භ කර බව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

ඒ සඳහා පොලිසිය,ග්‍රාම නිලධාරීන් සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් එක්ව සිටීයි.

ඉදිරි දින කිහිපය තුළ පවතින අධික වර්ෂාපතනය ක්‍රම ක්‍රමයෙන් අඩු වී යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.

මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිත දිග මෝසම අඛණ්ඩව පවතිනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

වර්ෂාව මේ දිනවල අඩු වුවත් සැප්තැම්බර් දක්වා යළි ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පැවතිය බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

එවැනි තද වැසි ඇතිවුවහොත් අනාවැකි පිළිබඳව කල් ඇතිව ප්‍රකාශ නිකුත් කරන බවත් කරුණානායක මහතා පැවසීය.

Share with your friends :