27 C
Colombo
19/01/2025

’’වසර දෙකකට ඡන්දෙ එපා’’

Share with your friends :

තවත් අවුරුදු දෙකකට මැතිවරණය කල් දමමින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා අද (28)පැවසීය.

පාර්ලිමේන්තුවේ නියෝජිතයෙන් 225 දෙනා තේරී පත් වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක නිසා එයින් ජනතාවගේ මතය නියෝජනය වෙන බවද මහලේකම්වරයා පැවසීය.

වඩා ප්‍රායෝගික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට එම ක්‍රියාවලිය කළ යුතු බව කී රංගෙ බණ්ඩාර මහතා මැතිවරණ සිතියම අකුලනවා වැනි කතා නොකියා එම කටයුත්ත සඳහා සහයෝගය ලබාදෙන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

රටේ ආර්ථිකය දැන් යම් තැනකට ගෙනමින් තිබෙන අතර රට ගොඩ නැගීමට නම් කාලය කා නොදමා වත්මන් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙනයා යුතුව ඇතැයිද පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එජාප ලේකම්වරයා කීය.

දැන් කළ යුතු වන්නේ මැතිවරණයක් පැවැත්වීම නොව සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක මැදිහත් වී තවත් අවුරුදු දෙකක කාලකයට ජනාධිපතිවරයාගේ පාලන කාලය දීර්ඝ කළ යුතු බවට ප්‍රකාශයක් කිරීම යැයි කී රංගෙ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් එකතු වී එම තීරණය ගත යුතු බවද සඳහන් කළේය.

මේ මොහොතේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබාගෙන ජාත්‍යන්තර ආයෝජන සහ සබඳතා වර්ධනය කරගනිමින් යන පැහැදිලි ගමනක් පෙනෙන්නට තිබෙන්නේ යැයි කී රංගෙ බණ්ඩාර මහතා ජාත්‍යන්තරය සමග තිබෙන එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට දැනුම සහ හැකියාව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනපති සතුව බවද කීය.

Share with your friends :