27 C
Colombo
21/01/2025

වීසා මගඩිය – මුදල් කාරක සභාවට යලිත් වරක් බැහැ කියලා

Share with your friends :

විදේශිකයින් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුකාරී වාතාවරණය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වූ සාකච්ඡාව යළිත් කල් දැමීමට සිදුව ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පවසයි.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ අදාළ සාකච්ඡාව ලබන අඟහරුවාදා දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ බවය.

කෙසේවෙතත් එදිනට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහභාගී විය නොහැකි බවට දැනුම් දී තිබේ.

ඒ අනුව අදාළ සාකච්ඡාව ජුනි මස 4වන දිනට කල්දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

විදේශිකයින් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සම්බන්ධයෙන් පසුගිය දා ඇතිවූ ගැටලුකාරී වාතාවරණය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් කැඳවා තිබුණි.

පළමු අවස්ථාවේ එම සාකච්ඡාව සඳහා අදාළ නිලධාරීන් පැමිණිය ද පසුගිය 14 වන දින පැවති සාකච්ඡාව සඳහා ඔවුන් නොපැමිණී බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහන් කළේය.

ඒ අනුව අනිද්දා දිනයේ දී අදාළ නිලධාරීන්ට යළි සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස දැනුම් දීමක් සිදුකර තිබූ අතර එදිනට ද ඔවුන්ට සාකච්ඡාව සදහා සහභාගී විය නොහැකි බව දැනුම් දී තිබේ.

මෙම මතභේදාත්මක ඔන්ලයින් වීසා නිකුත් කිරිමේ ක්‍රමවේදය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති අතර එම තොරතුරු මෙම සාකච්ඡාවලින් අනතුරුව නිකුත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

අදාළ වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ලබාදී ඇති ටෙන්ඩරය පිටුපස ඇති සත්‍ය හෙළිදරව් කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව කැපවී සිටින බවද මන්ත්‍රීවරයා පවසයි.

Share with your friends :