27 C
Colombo
18/11/2024

බාල බෙහෙත්වල කැරපොතු කොටස් – වීදුරුකෑලිත් තිබිලා

Share with your friends :

මෑත කාලයේදී මිලදී ගැනුණු ඇතැම් ඖෂධවල වීදුරු කැබලි මෙන්ම මැරුණු කැරපොත්තන් ද තිබී හමුවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙයට අමතරව දෘශ්‍ය අංශු පැවැතීම, පෙති කැඩී යාම, වර්ණය වෙනස්වීම, නියමිත පිරිවිතරයන්ට අනුකූල නොවීම, අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන් මරණ සිදුවීම, ක්ෂුද්‍ර ජීවී ආසාදන වැනි ලක්ෂණ සහ විවිධ ප්‍රතිපල රැසක් ද එම ඖෂධවලට අදාළව හඳුනාගෙන තිබූ බව වාර්තාවේ දැක්වේ.
මේ හේතුවෙන් ඖෂධ රැසක් භාවිතයෙන් ඉවත් කර තිබූ බව ද ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙසේ කැරපොත්තන් සහ වීදුරු කැබලි හමුවී ඇත්තේ ප්‍රතිජීවක ඖෂධ, ආසාත්මිකතා, ඇඳුම, පිළිකා, හෘද රෝග, අක්ෂි ආසාදන හා වකුගඩු රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ගවලය.
රජයේ රෝහල් සඳහා පසුගිය 2022 වර්ෂයේදී නිකුත් කළ වෛද්‍ය සැපයීම්වලින් රුපියල් කෝටි 35 ක් වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්වයෙන් අසමත් වීම මත භාවිතයෙන් ඉවත් කර තිබූ බවත් තවත් රුපියල් කෝටි තුනකට වැඩි වටිනා ඖෂධ තත්වයෙන් අසමත්වීම හේතුවෙන් භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබූ බවත් එහි සඳහන් වේ.
මෙම තත්වය ගැන විගණන නිලධාරින් වසර ගණනාවක් තිස්සේ අනාවරණය කළ ද අවම කර ගැනීමට කටයුතු කර නොතිබුණු බව පවසන එම වාර්තාව පසුගිය වර්ෂයේදී පමණක් රුපියල් කෝටි 24 248කට වැඩි වටිනා ඖෂධ තත්වයෙන් අසමත්වීමෙන් භාවිතය අත්හිටුවා තිබූ බව ද සඳහන් කරයි.
මේ අතර සැපයුම්කරුගේ සුදුසුකම් හා ඖෂධයේ තත්වය පිළිබඳව පරීක්ෂා කිරීමෙන් තොරව ඖෂධ සැපයීමට පහසුකම් දීමෙන් ඖෂධ සම්බන්ධයෙන් අවදානමක් මතුවන බව විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.
මේ අතර ඖෂධ නීතිගත සංස්ථාව සැපයුම්කරුවන්ගෙන් අය කර ගත යුතුව ඇති රුපියල් කෝටි එකසිය හතළිහකට වැඩි මුදලක් මෙතෙක් අය කරගෙන නොතිබූ බව ද විගණන වාර්තාවේ දැක්වේ.

Share with your friends :