27 C
Colombo
19/01/2025

වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී උත්සවාකාරයෙන් සැමරේ

Share with your friends :

වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් 25 වන වසර
එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී උත්සවාකාරයෙන් සැමරේ

ජාත්‍යන්තර වෙසක් දිනය 2024 මැයි මස 20 වෙනිදා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සමරනු ලැබීය. මෙම වසරට වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ලද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අංක 54/115 දරණ යෝජනාව සම්මත වී වසර 25 ක් සපිරීමද විශේෂත්වයකි. මෙම සංවත්සර උත්සවය ශ්‍රී ලංකා සහ තායිලන්ත නිත්‍ය නියෝජිත කාර්‍යාල මගින් සංවිධානය කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ නිත්‍ය නියෝජිත වරුන් විසින් කරන ලද කථන, ථේරවාද සහ මහායාන බෞද්ධ නිකායන් පිළිබිඹු කරමින් සිදුකළ ආශිර්වාද ධර්ම දේශනා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්, මහ මණ්ඩලයේ සභාපති, දෙරටේ විදේශ අමාත්‍යවරුන් විසින් නිකුත් කරනු ලබූ විශේෂ පණිවුඩ සහ අනෙකුත් රටවල නිත්‍ය නියෝජිත වරුන් මෙම දිනයට එක්කළ සුභාශිංසන යනාදියෙන් මෙම උත්සවය සමන්විත විය.

පැමිණ සිටි අමුත්තන් පිළිගනිමින් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත / තානාපති මොහාන් පීරිස් මැතිතුමා විසින් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සතර බ්‍රහ්ම විහරණයන් අද කාලීනව මෙනෙහි කිරීමේ වැදගත් කම සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ ලා බුදුන් වහන්සේගේ එම දේශනයන්හි වැදගත්කම පහදා දෙන ලදී. මෙම කථනයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සභාපතිවරයාද වෙසක් දිනයේදී මනුෂ්‍යත්වය සහ විවිධත්වය අගය කිරීමේ සහ මෙනෙහි කිරීමේ වැදගත්කම පැහැදිලි කළේය.

ස්වකීය වීඩියෝ පණිවිඩය මගින් එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාද බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සාමය, දයානුකම්පාව සහ අනෙකා උදෙසා සේවය කිරීමේ වැදගත්කම පහදා දෙනු ලැබීය. දෙරටෙහි විදේශ අමාත්‍යවරුන්ද තම වීඩියෝ පණිවුඩ මගින් මෙකී එක්සත් ජාතීන්ගේ යෝජනාව සම්මත කිරීමේ 25 වන සංවත්සරය එළඹෙන විශේෂ අවස්ථාව සනිටුහන් කරමින් එකිනෙකාට සුභ පැතූ අතර, ලෝක සාමය අභිමතාර්ථව කෙරෙන බහුපාරශ්වීය කාර්යයන්හිදී ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ ඉගැන්වීම් වලට අනුව කටයුතු කිරීමේ වැදගත්කමද පැහැදිලි කරන ලදි.

මෙම උත්සවය විචිත්‍රවත් කරමින් පැමිණ සිටි 70 කට අධික භික්ෂූන් වහන්සේලා එකමුතුව සියල්ලන්ටම ආශිර්වාද කළහ. ඉන් අනතුරුව ස්ටැටන් අයිලන්ඩ් බෞද්ධ විහාරයේ විහාරාධිපති, අති පූජ්‍ය හීන්බුන්නේ කොණ්ඩඤ්ඤ හිමියන් විසින්, බුදුදහම ආසියාව තුල පැතිරීම සහ නූතන සන්ධර්භය තුළ බුදු දහමේ ඇති වැදගත්කම පහදාදෙමින් කෙටි ධර්ම දේශනාවක් සිදු කරනු ලැබීය.

මෙම උත්සවය අවසන් වූයේ තායිලන්ත නිත්‍ය නියෝජිත/තානාපති, සූරිය චින්දවොන්ග්සේ මැතිතුමා විසින් සිදුකරනු ලැබූ විශේෂ කථනයෙනි. පැමිණ සිටි පිරිසට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිදු කරන පොදු කාර්‍යයන්හිදී බුදු දහමේ මධ්‍යම ප්‍රතිපදාවේ ඇති වැදගත්කම පහදා දුන් ඔහු, වසර ගණනාවක් තිස්සේ මෙම සැමරුමට සම සත්කාරත්වය දැක්වූ ශ්‍රී ලංකාවට තායිලන්ත රජය වෙනුවෙන් සිය ස්තුතිය පළ කළේය.

තවද, ජාත්‍යන්තර වෙසක් දිනයේ වැදගත්කම පහදා දෙමින් නේපාලය, ඉන්දියාව, ජපානය, පාකිස්තානය, වියට්නාමය, මොන්ගෝලියාව, මියන්මාරය, කාම්බෝජය, ඉන්දුනීසියාව, රුසියාව, දකුණු කොරියාව, මැලේසියාව, සිංගප්පුරුව, බංග්ලාදේශය සහ ලාඕසය යන රට වල නියෝජිතයන්ද විශේෂ කථන පැවැත්වූහ.

එක්සත් ජාතීන්ගේ යෝජනා අංක 54/115, 1999 දෙසැම්බර් මස 15 වෙනි දින එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේදී සම්මත විය. ඒ අවස්ථාවේ බංග්ලාදේශය, භූතානය, කාම්බෝජය, චිලී රාජ්‍යය, සයිප්‍රසය, ග්‍රෙනඩාව, අයිස්ලන්තය, ඉන්දියාව, ඉන්දුනීසියාව, අයර්ලන්තය, ලාඕසය, මාලදිවයින, මොන්ගෝලියාව, නේපාලය, මියන්මාරය, පාකිස්ථානය, පිලිපීනය, පෘතුගාලය, කොරියාව, රුසියාව, සීෂෙල්ස්, ස්ලෝවැකියාව, ස්පාඤ්ඤය, ශ්‍රී ලංකාව, සුරිනාමය, තායිලන්තය සහ යුක්‍රේනය යන රටවල් සම අනුග්‍රාහකත්වය දැක්වූහ. එදා සිට මේ දක්වා ජාත්‍යන්තර වෙසක් දිනය සාමාජික රටවල්, ථේරවාද සහ මහායාන නිකායන් නියෝජනය කරන බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ එක්සත් ජාතීන්ගේ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් යුක්තව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සමරනු ලබයි.

Share with your friends :