27 C
Colombo
20/01/2025

මිල්කෝ සමාගමේ නිෂ්පාදන ධාරිතාව වැඩිවෙලා-මිල අඩු කරන්නැයි ජනතාව ඉල්ලති

Share with your friends :

පසුගිය කාලයේ අසාධාරණ ලෙස ඉහල නංවන ලද මිල්කෝ නිෂ්පාදන වල මිල වහාම ජනතාවට දරාගත හැකි මිලකට පහත හෙලන ලෙස පාරිභෝගික ජනතාව මිල්කෝ සමාගමෙන් ඉල්ලා සිටිති.
රාජ්‍ය ආයතනයක් වුවද පසුගිය කාලයේ එහි නිෂ්පාදනවල මිල කීප ගුණයකින් වැඩිවිය. භාණ්ඩ මිල අඩුවෙද්දී ඊට සාපේක්ෂව මිල්කෝ සමාගමේ නිෂ්පාදනවල මිල අඩුවී නොඅමති බවද පාරිභෝගිකයෝ පවසති.

මේ අතර මිල්කෝ සමාගමේ දෛනික කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා දියර කිරි ප්‍රමාණය ලීටර් 140000 ඉක්මවා ඇතැයි මිල්කෝ සමාගමේ සභාපති ඉන්දික ගුරුගේ මහතා පවසයි.

මිල්කෝ සමාගම විසින් දෛනිකව තම නිෂ්පාදන සඳහා යොදාගන්නා ලද දියර කිරි ප්‍රමාණය පසුගිය කාලයේ කිරි ලීටර් 65,000 දක්වා පහත වැටී තිබිණි.

සාමාන්‍යයෙන් මිල්කෝ සමාගමේ දෛනික දියර කිරි ඉලක්කය ලීටර් 120000ක් බවත් සමාගමේ පරිපාලන ගැටලු නිසා එම ප්‍රමාණය සියයට 50කින් අඩු වී තිබු බවත් ඉන්දික ගුරුගේ මහතා කීය.
ධාරිතාව වැඩිවීම නිසා නිෂ්පාදන වියදම අඩුවී ඇති බව සමාගමේ සේවකයෝ පවසති.
පසුගිය කාලයේ මිල්කෝ සමාගමේ කිරි පිටි නිෂ්පාදනය මුළුමනින්ම නැවතී තිබූ නමුත් මේ වනවිට හයිලන්ඩ් කිරි පිටි මෙට්‍රික් ටොන් 80ක් ගබඩා සතුව ඇතැයි ද හයිලන්ඩ් අයිස්ක්‍රීම් හා යෝගට් නිෂ්පාදන ධාරිතාවය ද ඉහළ නංවා තිබෙන්නේ යැයිද මිල්කෝ සභාපතිවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දුන් වාර්තාව සඳහන් වේ.

Share with your friends :