27 C
Colombo
20/01/2025

හෙලිකොප්ටර් යානය හමුවුනත් ඉරාන ජනාධිපති තවමත් අතුරුදහන්

Share with your friends :

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි ගමන් කල හෙලිකොප්ටර් යානය සොයා ගැනීමට ඉරාන ආරක්ෂක අංශ සමත්වී තිබේ.
එහෙත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත. ජනාධිපතිවරයාට හා යානයේ ගමන් කල පිරිසට කුමක් සිදුවූයේද යන්න තවමත් කිසිදු පැහැදිලි තොරතුරක් නොමැත.
ජනාධිපතිවරයා ඇතුළු පිරිස වෙනුවෙන් යාඥා කරන ලෙසට ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනි ජාතිය අමතමින් පැය කීපයකට පෙර ප්‍රකාශ කළේය.
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි ගමන් කල බව පැවසෙන හෙලිකොප්ටරය නැගෙනහිර අසර්බයිජානයේදී අනතුරකට මුහුණ දුන් අතර ඉරාන රජය ප්‍රකාශ කලේ හෙලිකොප්ටරය හදිසි ගොඩ බැස්මක් කර ඇති බවය.
සහන කණ්ඩායම් ඒ වෙත ලඟා වන්නට පැය ගනනාවක් ගතවුයේ අයහපත් කාලගුණය හේතුවෙනි.
ඉරාන විදේශ ඇමති හුසේන් අමීර් හා නැගෙනහිර අසර්බයිජානයේ ආණ්ඩුකාරවරයාද යානයේ ගමන් කර ඇත.
ඊබ්‍රහිම් රාසි ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනිගේ සමීපතමයෙකු වන අතර මීළඟට එම තනතුරට පත්වන්නට නියමිත පුද්ගලයාය.අයතුල්ලා කුමේනි 85 හැවිරිදි ය. රාසි මීට පෙර එරට අගවිනිසුරුවරයා ලෙස කටයුතු කල අතර 2021 දී එරට ජනාධිපති ධුරයට පත්විය.
එරටට පනවා ඇති සම්බාධක හේතුවෙන් ගුවන් යානා හා හෙලිකොප්ටර් යානා සඳහා නඩත්තු කටයුතු වලට බාධා පැමිණ තිබේ.
ඉරානය හා අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමට ඉරාන ජනාධිපතිවරයා එහි ගොස් තිබිණි. ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය සමග තවත් හෙලිකොප්ටර දෙකක් ගමන් කල අතර අනෙක් හෙලිකොප්ටර දෙක නිරුපද්‍රිතව ගමන්නාතයට පැමිණ තිබිණි.
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි පසුගියදා ශ්‍රීලංකාවට ද පැමිණි අතර ඔහු උමා ඔය ව්‍යාපෘතිය විවෘත කළේය.

Share with your friends :