27 C
Colombo
20/10/2024

වීසා අවුලේ මුදල් කමිටු සාකච්ඡාව නවතී – නිලධාරීන් පැමිණ නෑ

Share with your friends :

කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද (14) කැඳවා තිබුණද එකම නිලධාරියකු හෝ පැමිණ නොසිටීම විශේෂ සිද්ධියක් විය.

එම නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැන තමා දැඩි සේ අප්‍රසාදය පළ කරන බවත් එසේ කමිටුව මගහැරි නිලධාරින් සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන් සමඟ සාකච්ඡා කර ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී අද (14) පැවසීය.

කාර්යාලය මාරු කළ හෙයින් 2016 වර්ෂයේ ලිපිගොනු වගයක් සොයා ගැනීමට නොහැකි බව දැනුම් දෙමින් නිලධාරීන් මෙසේ නොපැමිණි බවත් එය සාධාරණ හේතුවක් නොවන බවත් සභාපතිවරයා කීවේය.

හර්ෂද සිල්වා මහතා මෙසේද පැවසීය.

මම වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරනවා. වීසා ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද කැඳවලා තිබුණා. එන්න හැකියාවක් නැහැ කියලා මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් අපිට ලියුමක් ලැබුණා. ජේෂ්ඨ සහකාර ලේකම් අත්සන් කරලා තිබුණේ.

වීසා ප්‍රශ්නය ගැන දෙවෙනි දිනයට සාකච්ඡා කිරීමට අද දිනය යොදාගෙන තිබුණා. නිලධාරීන් කිසිම කෙනෙක් පාර්ලිමේන්තු ආවේ නෑ.ලේකම්තුමාට ඕන නිසා තමයි අද දිනය දාගත්තේ. ඒක අපි කළා. මේක සම්පූර්ණයෙන්ම වරප්‍රසාද කඩවීමක්.

පාර්ලිමේන්තුවට කැඳෙව්වම නිලධාරියකුට නෑවිත් ඉන්න හැකියාවක් නැහැ. සාධාරණ හේතුවක් උඩ අවස්ථාව තියෙනවා. මම මේ ගැන අතිශයින්ම කනගාටු වෙනවා. කමිටු සාමාජිකයන්ගේ එකඟතාවය අනුව ඊළඟ පියවර අපි ගන්නවා. ජනතා මුදල් ගැන ප්‍රශ්නයක් අපි කතා කරන්නේ. කොහොමද නෑවිත් ඉන්නේ?. මෙවැනි දෙයක් වෙන පළමු අවස්ථාව.

මුලසුනේ මන්ත්‍රී මයන්ත දිසානායක මහතා

පාර්ලිමේන්තුව කල් තියලා තියෙන නිසා මේක වෙන දිනයක ගේන්න මම මේ පිළිබඳව කතානායකතුමාට දැනුම් දෙන්නම්.

Share with your friends :