27 C
Colombo
19/01/2025

ලෝක කාන්තා ලිංගික හිංසනය අවම කරන්න ධම්මික පෙරේරාගෙන් අලුත් වැඩක්

Share with your friends :

සමස්ත ලෝකයේම කාන්තාවන් හමුවේ ඇති ලිංගික හිංසනය අවම කරන්න මෙයින් හැකිවෙයි – ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා

වෙනස යන වචනය බහුලව භාවිතා කළද නියම වෙනස සිදුකරනුයේ මේ ආකාරයේ වැඩසටහන් හරහා යැයි, කාන්තාවන් සමාජයේදී ලිංගික හිංසනයන්ට ගොදුරුවීම වලක්වාගැනීමේ අරමුණින් ‘ඩීපී එඩියුකේෂන්’ විසින් හිංසන විරෝධී ගෝලීය අභිනයන් සමාජගත කිරීමේ වැඩසටහන අරඹමින් පැවැති උත්සවය අමතා එහි ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පවසා සිටියේය.
කාන්තාවක් පොදු ස්ථානයකදී ලිංගික හිංසනයකට ලක්වන විටක, ඒ බැව් සරල අභිනයකින් භාහිරට ප්‍රකාශ කරමින් ආරක්ෂාවීම පෙරදැරිකරගත් සංඥා (අභිනයන්) ත්‍රිත්වයක් හඳුන්වාදීම වෙනුවෙන් ඇරඹි මෙය, කාන්තාවන් සවිබලගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මකභාවයට පත් එම පන්නයේ ලොව පළමු වැඩසටහන වීම කැපී පෙනෙයි.
ඒ යටතේ කාන්තාවක් පොදු සමාජයේ සැරිසැරීමේදී කිසිවෙකු අතින් ලිංගික හිංසනයකට ලක්​වේ නම් එය හස්ත මුද්‍රාවෙන් දැක්විය හැකි ‘ඔබ මට හිරිහැරයක්’ යන අභිනයත්, ඒ බැව් අභිනයෙන් ප්‍රකාශ කර සිටියදී තවදුරටත් එම හිංසනය ක්‍රියාත්මක වේ නම් ‘ඔබ මට හිරිහැරයක්. මට අන් අයගේ උදව් අවශ්‍යයි’ යන අභිනයත්, කාන්තාව ලිංගික හිංසනයට ලක්කළ පුද්ගලයා තමා කළ වරද තේරුම් ගතහොත් එම අභිනයන්ට ප්‍රතිචාර වශයෙන් දැක්විය හැකි ‘මට සමාවෙන්න. මම එසේ නොවෙන්නම්’ යන අභිනයත් මෙහිදී ලෝකයා හමුවේ හඳුන්වාදෙන ලදි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත කුන්ලේ අදේනී ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ ගිහි පැවිදි දෙපාර්ශ්වයම මධ්‍යයේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැති අදාළ උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, කාන්තා හිංසනයට එරෙහි වගන්ති ව්‍යවස්ථාව තුළ තිබුණිද, ඒ උදෙසා නීති තිබුණිද කාන්තාව හිංසනයෙන් සහමුළින්ම ගලවාගැනීමට ඒවා ප්‍රමානවත් නොවන බවත් ඒ උදෙසා මෙවැනි ක්‍රමවේදයන් ක්‍රියාත්මක වීමේ සුවිශේෂී වටිනාකමක් ඇති බවත් පැවසීය. එසේම කාන්තාවන් සවිබලගැන්වීම සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකරදීම වෙනුවෙන් ආණ්ඩුව විසින් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මොහොතක, ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම හරහා ඩීපී එඩියුකේෂන් ඔස්සේ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැන්නක් ක්‍රියාත්මක වීම අතිශය කාලෝචිත ගැලපීමක් බවක් පවසා සිටියේය.
ධම්මික පෙරේරා මහතාගේ සංකල්පයන් අනුව ක්‍රියාත්මකවන අනෙකත් වැඩසටහසම්බන්ධයෙන්ද සිය කෘතඥතාව පළ කරමින් අදහස් දැක්වූ ජනපතිවරයා ‘‘ මේ රටේ අපි නිදහස් අධ්‍යාපනය ලබාදුන්නට හැමෝටම එය එක මට්ටමෙන් දෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. එසේ තිබියදී ඩීපී එඩියුකේෂන් හරහා හැමටම එකම මට්ටමෙන් අධ්‍යාපනය ලැබිය හැකි අලුත් පංති කාමරයක් හදලා දුන්නා. කාලයාගේ ඇවෑමෙන් අධ්‍යාපනය ලබාදෙන ආකාරය වෙනස්වද්දී ඩීපී එඩියුකේෂන් අනාගත අධ්‍යාපනයේ කොටසක් අපට අදම උරුම කර දුන්නා’’ යැයි පවසන ලදි. එසේම වචනයට සීමා කළ නොහැකි යුතුකමක් සඳහා අවස්ථාව උදාකරදෙමින් ධනපතියාගෙන් වෙනස් වන දානපතියාගේ සැබෑ හැසිරීම දක්වා සිටීමට ධම්මික පෙරේරා මහතාට හැකිව තිබෙන්නේ යැයි ද පැවසුවේය.
කාන්තාවන් උදෙසා ලිංගික හිංසන විරෝධී ගෝලීය අභිනයක් හඳුන්වාදීමේ සංකල්පධාරී ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා මෙහිදී සභාව ආමන්ත්‍රණය කරමින් තමා දියණියන් තිදෙනෙකුගේ පියකු ලෙස ලොව තවත් දියණියකට කාන්තාවකට ලැබිය යුතු ආරක්ෂාව, රැකවරණය පුද්ගලිකවම අගයන අයෙක් යැයි පැවසීය. එසේම ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයනයන්ට අනුව සැකසූ පෙරපාසල් දහසක් සමග ‘ඩීපී කිඩ්ස්’ වැඩසටහනද, මෙරට පාසල් අධ්‍යාපනයේ යෙදෙන දරුවන් අතරින් තුනෙන් එකක් විසින් පරිහරණය කරනු ලබන ඩීපී එඩියුකේෂන් වැඩසටහනද, පවුල් 122,000ක දරුවන් සම්බන්ධ වන ‘ඩිපී අයි.ටී කැම්පස්’ මෙන්ම පාසල් 675කට ස්මාර්ට් පංති කාමර ආදියද පිරිනමමින් මෙරට අධ්‍යාපනය ශක්තිමත් කිරීමට වැඩකටයුතු සිදුකිරීමෙන් නොනැවතී එයට සමාන්තරව අප සමාජයේ සාරධර්ම නැංවීමටද තමා කටයුතු කරගෙන යන බවද පවසා සිටියේය.
තමන් ව්‍යාපාරයක් ඇරඹීමේදී පවා මේ රටට පමණක් නොව සමස්ත ලෝකයටම එය රැගෙන යන ආකාරයට සැලසුම් කරන්නෙක් බවත්, ඒ අනුවම කාන්තාවන් ලිංගික හිංසනයෙන් මුදා ගැනීමේ මෙම අභිනයන් ගෝලීය අභිනයන් බවට පත්කිරීමට කටයුතු කරන බවත් අවධාරණය කළේය.
‘‘ කාන්තාවක් කායික වශයෙන්, වාචික වශයෙන් මෙන්ම සයිබර් හිංසනයට ලක්විය හැකියි. නමුත් බොහෝ විට කාන්තාවන් අපහසුවෙන් මේ හිරිහැරය දරාගෙන සිටිනවා, මොකද එය වචනයෙන් ප්‍රකාශ කිරීමෙන් තමන් එයට වඩා අපහසුතාට ලක්විය හැකියි කියලා ඒ අය හිතන නිසා. මෙය වලක්වාගැනීමට ලෝකයේ සැවොම එකම භාෂාවකින් එකතු කරගන්න හැකිවුණහොත් සමාජයේ කාන්තාවන්ට එම හිරිහැරය සැලකිය යුතු ලෙස අවම කරගන්න පුළුවන් වෙයි. මුළු ලෝකයම එකම විදිහට භාවිතා කරන සංඥා 8ක් පමණයි තිබෙන්නේ. අපි හඳුන්වා දෙන මේ සංඥා තුන ලෝකයට ගිය විට මුළු ලෝකයම එකම ආකාරයට භාවිතා කරන සංඥා ගණන 11ක් වෙයි’’ යනුවෙන් ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා පවසන ලදි.
අදාළ අභිනයන් දැක්වෙන සේ ඉමෝජි රූප තුනක් මෙන්ම මෙම වැඩසටහන ලොවට රැගෙන යන www.dpgestures.com වෙබ් අඩවිය දියත් කිරීමද මෙහිදී සිදුවිය

Share with your friends :