27 C
Colombo
18/01/2025

ලයිකා නඩුවක් දමා ටෙලිකොම් – ලංකා හොස්පිට්ල් කොටස් පැවරීම නවත්වයි

Share with your friends :

දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වැනිදා තෙක් අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙනුවෙන් ලයිකා මොබයිල් එස්.ඒ.ආර්.එල් සමාගම සහ පිටිගෝ කොමේරිකෝ ඉන්ටර්නැෂනල් සමාගම මෙන්ම ලංකා හොස්පිට්ල්ස් ආයතනය වෙනුවෙන් ලයිකා ලීසිං හෝල්ඩිං සමාගම සහ හයිම්ස් ඉන්ටර්නැෂනල් සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසින් මෙම අතුරු තහනම් නියෝග නිකුත් කළේය.

අදාළ පෙත්සම්වල වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සාමාජිකයින් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසකට මාර්තු මස 12 වැනිදා කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් එම නියෝගයේ සඳහන් වේ.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම්වලින් පෙත්සම්කාර සමාගම් කියා සිටින්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු සියයට 50.23 ක කොටස් හා ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ සියයට 51.34 ක් කොටස් පැවරීමේ ක්‍රියාවලියට අදාළව සුදුසුකම් ලැබීම සඳහා අයදුම්පත් තමන් විසින් වගඋත්තරකරුවන් වෙත ඉදිරිපත් කළ බවයි. එහෙත් කිසිදු හේතු පැහැදිලි කිරීමකින් තොරව එම අයදුම්පත් ප්‍රතික්‍ෂේප කිරීමට වග උත්තරකාර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අදාළ අමාත්‍ය මණ්ඩල කමිටුව තීරණය කළ බවත් පෙත්සම්කාර සමාගම් චෝදනා කළේය. අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ මෙම තීරණය අත්තනෝමතික මෙන්ම අයුක්ති සහගත බව පෙන්වාදෙන පෙත්සම්කාර සමාගම් සියලු සුදුසුකම් සපුරා තිබියදීත් තම අයදුම්පත් පිළිනොගැනීමට එම කමිටුවගත් තීරණය නීතියට පටහැනි බවත් සිය පෙත්සම්වලින් පෙන්වා දී තිබේ

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝග නිකුත් කළේය.

ලයිකා සමාගමේ හිමිකරුවන්නේ සුභාෂ්කරන් අලි රාජා මහතාය.

Share with your friends :