27 C
Colombo
19/01/2025

රොනී ද මැල්ගේ ආදාහන කටයුතු මාර්තු 1 මාතරදී

Share with your friends :

ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයකුද ප්‍රකට ආර්ථික විශේෂඥයකුද වූ රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු මාතර රුහුණු විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී මාර්තු පළමුවැනිදා පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

දේහය මහජන ගෞරවය සඳහා පාර්ලිමේන්තුවට රැගෙන යෑමට කෙරුණු ඉල්ලීමක් රොනීද මැල් මහතාගේ අවසන් කැමැත්තට ගරු කරමින් සංවිධායක මණ්ඩලය ප්‍රතික්ෂේප කළේය.

දේහය කොළඹ 3 චාල්ස් ඩ්‍රයිව්හි අංක 5 දරන ඒ මහතාගේ නිවෙසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත.

දේහය රැගත් ආදාහන පෙරහැර 29 දා පස්වරු 2.00 ට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර වැල්ලමඩම රුහුණු විශ්ව විද්‍යාලයට රැගෙන යෑමට නියමිතය. රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය සමන් චන්දන ඉදිරිවීර මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය විසින් එහිදී දේහය බාර ගනු ලබනු ඇත.

අනතුරුව රොනීද මැල් මහතාගේ දේහය රුහුණු විශ්ව විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගනය අසල විශේෂ ශාලාවේ මහජන සහ සිසු ගෞරවය සඳහා තැන්පත් කෙරෙනු ඇත.

පසු දින එනම් මාර්තු 1 වැනිදා දේහය අවමගුල් පෙරහරකින් රුහුණු විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගණයට රැගෙන යෑමට නියමිතය. පස්වරු 4.00 ට බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව මැල් මහතාගේ අවසන් කැමැත්ත අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඔහුගේ දේශපාලන ගුරුවරයා ලෙස සැලකූ හිටපු අමාත්‍ය පිලිප් ගුණවර්ධන මහතා වෙනුවෙන් ඔහුගේ පුත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් ගුණකතන පැවැත්වීමට නියමිතය.

ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක්වූද හිටපු මුදල් අමාත්‍යවරයකුවූද ප්‍රකට ආර්ථික විශේෂඥයකුවූද රොනී ද මැල් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී පසුගිය 27 දා අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු 99 වැනි වියේ පසුවිය.

මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස 1977 සිට 1988 දක්වා කටයුතු කළ රොනිද මැල් මහතා මෙරටට නිදහස් වෙළෙඳ ආර්ථිකය හඳුන්වා දීමේ පුරෝගාමියාද විය.

ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් යුගයක මුල් තැන ගැනීමට මැල් මහතා සමත් විය.

ජනාධිපති ජයවර්ධන මහතාගේ ජේෂ්ඨ උපදේශකවරයකු වූ හෙතෙම සම්භාවනීය සිවිල් සේවයේ හිටපු නිලධාරියෙකි.

සිවිල් සේවා නිලධාරියකු ලෙස ඔහු අමාත්‍යාංශ ගණනාවකද ඉහළ තනතුරු හෙබවීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මුලින්ම දේශපාලනයට පිවිසි රොනී ද මැල් මහතා මාතර දිස්ත්‍රික්කයේ දෙවුන්දර ආසනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මුලින්ම තේරී පත්විය.

ඔහු 2004 වර්ෂය දක්වා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.

මැල් මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් අයවැය 11ක් ඉදිරිපත් කර ඇති අතර ඔහු වැඩිම අයවැය ප්‍රමාණයක් ඉදිරිපත් කළ මෙරට එකම මුදල් අමාත්‍යවරයාය.

වික්ටෝරියා,රන්දෙනිගල කොත්මලේ,වරාය, මහා මාර්ග,නිවාස සහ නිදහස් වෙළෙඳ කලාප වැනි ව්‍යාපෘති සඳහා මුදල් සොයා දීමට හෙතෙම මුල් වී කටයුතු කළේය.

සිවිල් සේවයට සම්බන්ධ වී විවිධ තනතුරු දරා විශ්‍රාම යෑමෙන් අනතුරුව ඔහු දේශපාලනයට පිවිසියේය.

ඔහු 1965 වර්ෂයේදී බිබිල මැතිවරණ කොට්ඨාශයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැදී එක්සත් ජාති පක්ෂ නියෝජිතයා වූ ධර්මදාස බණ්ඩා මහතාට පරාජය විය. අනතුරුව ඔහු 1970 මහ මැතිවරණයේදී දෙවුන්දර ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ඉන්පසු ඔහු 1977 මහ මැතිවරණයේදී දෙවුන්දර ආසනය ජය ගත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි. එම වර්ෂයේදීම ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස පත් කෙරිණ.

මෙරට 1983 වර්ෂයේ ජුලි මාසයේ ඇතිවූ කලබල මැඩ පැවැත්වීමටද ඔහු පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය.

රොනීද මෙල් මහතා දියණියන් තිදෙනෙකුගේ පියෙකි. සුනාලිනී තාරා සහ රේණුකා එම දියණියෝ වෙති. හෙතෙම ශ්‍රීමත් ලියූ පනාන්දු මහතාගේ දියණියකවන මල්ලිකාද මෙල් මහත්මිය සමග විවාහ වී සිටි අතර ඇයද කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළාය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ රොනී ද මැල් මහතා ලංකා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේය.

Share with your friends :