27 C
Colombo
18/01/2025

පකිස්ථානයේ මහා මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාද වන ලකුණු

Share with your friends :

පකිස්ථාන මහ මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වීමත් සමග ඉන්ටර්නෙට් හා ජංගම දුරකතන සේවා තාවකාලිකව අවහිර කිරීමට කටයුතු කර ඇත.
එසේම අවට රටවල් අතර දේශසීමාද වසා දමා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, පකිස්ථානය තුළ මෑත කාලීනව සිදුවූ ත්‍රස්ත ක්‍රියා පාලනය කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ය.

පකිස්ථානයේ පැවැත්වෙන්නේ, 12 වන මහ මැතිවරණයයි.

ප්‍රාන්ත 4කින් සමන්විත පකිස්ථානයේ මන්ත්‍රී ආසන 336 වෙනුවෙන් එරට ජනතාව මිලියන 128ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී තිබේ.

පකිස්ථානයේ මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 5,000 කට වඩා අධික සංඛ්‍යාවක් සහභාගි වන අතර, මැතිවරණයට තරග කරන කාන්තා අපේක්ෂකයන් සංඛ්‍යාව 313කි.

මේ අතර, පකිස්ථානයේ බැලොකිස්ථාන් සහ සයිෆුල්ලා ප්‍රදේශවල සිදුවූ බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයන් 28 දෙනෙකු මිය ගොස් තිබේ.

පාකිස්තානයේ මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වූ නමුත්, එය ඉතා මන්දගාමීව ස්වරූපයක් ගෙන ඇති බැවින්, ප්‍රතිඵල නිකුත් කිරීමට දින කීපයක් ගතවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසා තිබේ.

2022 වසරේ, දෝෂාභියෝගයකින් ධුරයෙන් නෙපරා දැමූ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙන්ම ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් දේශපාලන පක්ෂය ද දැඩි මර්දනයට ලක් වී ඇති බැවින්, මෙවර මහ මැතිවරණයේ දී කැපී පෙනෙන ප්‍රධාන පක්ෂ බවට පත් වූයේ පාකිස්තාන මුස්ලිම් ලීගය එන් සහ පාකිස්තාන ජනතා පක්ෂයයි.

පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයට නායකත්වය දෙන්නේ, යළිත් වරක් අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂා කරන, හිටපු අග්‍රාමාත්‍ය 74 හැවිරිදි නවාස් ෂරීෆ්ය. 2008 වසරෙන් පසු ජනවරමක් හිමිකර ගැනීමට අපොහොසත් වූ පාකිස්තාන ජනතා පක්ෂයට නායකත්වය දෙන්නේ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝගේ පුතු 35 හැවිරිදි බිලාවල් බූතෝය.

දේශපාලන පරිනතභාවයක් නොමැති බැවින්, නවාස් ෂරිෆ්ට අභියෝග කිරීමට බිලාවල් බූතෝ ට නොහැකි බව දේශපාලන විචාරකයන්ගේ අදහසය. පාකිස්තාන හමුදාව එරට දේශපාලනය හා බැඳී පවතින අතර, හමුදාවේ වැඩි මනාපය හිමිවී ඇත්තේ ද නවාස් ෂරීෆ්ට බව පැවැසෙයි.

Share with your friends :