27 C
Colombo
18/01/2025

රටම බනිද්දී මහින්ද බෝධිසත්වයෙකු වූ හේතුව උසාවියේදී එළියට

Share with your friends :

“අවලෝකිතේශ්වර බුද්ධ” නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා පිළිබඳ පසුගිය කාලයේ බොහෝ සෙයින් කතා බහට ලක් වුණා.

ඒ ඔහු සිදු කළ දේශන සහ ඔහුගේ ක්‍රියා හේතුවෙන්.

ඔහු වටා බොහෝ පිරිසක් අනුගාමිකයින් ලෙස සිටි බවත්, ඔවුන් ඔහුට වන්දනාමාන පවා සිදුකරන ආකාරයත් දක්නට ලැබුණා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා බොදු දහමට අපහාස වන ආකාරයෙන් දේශන පවත්වමින් මෙලෙස අසාමාන්‍ය හැසිරීමක් පෙන්වා ඇත්තේ මන්දැයි ඊයේ (07) අධිකරණයේ දී අනාවරණය වී තිබෙනවා.

එහි දී හෙළි වී ඇත්තේ ඔහු බින්නෝන්මාදය නමැති දැඩි මානසික රෝගී තත්ත්වයෙන් පෙළීම හේතුවෙන් බව යි.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ පරීක්ෂාවෙන් පසු නිකුත් කර ඇති විශේෂඥ මානසික වෛද්‍ය වාර්තාව හරහා යි මෙම අනාවරණය සිදු වී ඇත්තේ.

එමෙන්ම මෙම මානසික රෝගී තත්ත්වයට වැඩිදුර ප්‍රතිකාර ලබාදිය යුතු බවට ද විශේෂඥ මානසික වෛද්‍ය වාර්තාව පෙන්වා දී තිබෙනවා.

මෙම පුද්ගලයා මානසික රෝගී තත්ත්වයකින් පෙලෙන බව අනාවරණය වීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුට ඇප නියම කර ඇති අතර ඇප මත නිදහස් වීමෙන් අනතුරුව ඔහුගේ මානසික රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා දිය යුතු බවට ද නියම කර තිබෙනවා.

ඒ අනුව සතියේ සෑම සඳුදා දිනකම ඔහු අංගොඩ ජාතික මානසික විද්‍යා ආයතනයේ මානසික ව්‍යාධි සායනයට ඉදිරිපත් කරන ලෙසයි කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (07) නියෝග කළේ.

එමෙන්ම මින්මතු මහජනතාව ප්‍රකෝප වන ආකාරයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙසට දැඩි ලෙස අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා, ඔහු රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේ.

මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, අධිකරණ වෛද්‍ය නිලධාරියකු විසින් තම අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාව මත පදනම්ව එම ඇප නියෝගය නිකුත් කරනා බව යි විවෘත අධිකරණය හමුවේදී මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වැඩිදුරටත් පැවසූවේ.

තව ද සැකකරුට විදේශ ගමන් වළක්වමින් තහනම් නියෝගයක් ද නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා කටයුතු කළා.

මේ අතර සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයට දැනුම් දුන්නේ  සිය සේවාදායකයා වෙනුවෙන් අධිකරණය හමුවේ ඇපකරුවන් ලෙස පෙනී සිටින ඔහුගේ සහෝදරිය ඇතුළු ඇපකරුවන් අධිකරණයේ නියෝගය පරිදි ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම එකඟ වන බවයි.

නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසූවේ සැකකරු හා ඔහුගේ අනුගාමිකයන් බොදු දහමට අපහාස වන ආකාරයෙන් කටයුතු කළේ මූලධර්මවාදීන්ගේ හෝ යම්කිසි රාජ්‍ය නොවන සංවිධානයක මග පෙන්වීම අනුව දැයි අනාවරණය කරගැනීම සඳහා වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව යි.

මින් පසු මහජනයා ප්‍රකෝප කරවන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස අවවාද කොට සුදුසු නියෝගයක් ලබාදීම සම්බන්ධයෙන් පැමිණිල්ල විරුද්ධ නොවන බවද ඔහු අධිකරණයට දැනුම් දුන්නා.

දිලීප පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මහින්දාගමන ජාතික එකමුතුව නමින් සංවිධානයක් පිහිටුවා එහි ලේකම්වරිය ලෙස කටයුතු කරන තඹුත්තේගම සද්ධම්මචාලා නමැති මෙහෙණිය මෙම සැකකරු “ගුරුපියා” ලෙස හඳුන්වාදී ඔහු වෙනුවෙන් ඉල්ලීම් කරමින් කටයුතු කර ඇති බවයි.

Share with your friends :