27 C
Colombo
18/01/2025

අනතුරට හේතුව සනත් නිශාන්තගේම නියෝගයක්? අධිකරණයේදී හෙළි වූ කරුණු මෙන්න!

Share with your friends :

සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ ආරක්‍ෂක නිලාරීයාට මරු කැඳවු අනතුරට අදාළ නඩුව ඊයේ (05) වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධමිමික උඩුවවිදාන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටි සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ප්‍රභාත් එරංග ඩිල්නේෂා මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් එහි දී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළා.

අනතුර සම්බන්ධ තොරතුරු සහ ඊට හේතු වූ කරුණු රැසක් එහි දී අනාවරණය වූ අතර අමාත්‍යවරයාගේ රියදුරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තමරා අබේරත්න මහත්මිය පෙන්වා දී ඇත්තේ සිය සේවාදායකයාට අධික වේගයෙන් රථය ධාවනය කිරීමට හේතු වී ඇත්තේ අමාත්‍යවරයා විසින්ම දුන් නියෝගයක් බව යි.

සනත් නිශාන්ත මහතාගේ රියදුරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තමරා අබේරත්න මහත්මිය කරුණු දක්වමින් පවසා ඇත්තේ මියගිය සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් තම සේවාදායකයා වසර 12ක පමණ කාලයක් සේවය කර ඇති බවයි.

එමෙන්ම සිය සේවාදායකයා අමාත්‍යවරයාට අතිශය හිතැත්තෙකු බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයා ද දැඩි කම්පාවට පත්ව සිටින බවත් ඇය පවසා තිබෙනවා.

සනත් නිශාන්ත මහතාගේ රියදුරන් වශයෙන් තම සේවාදායකයාට අමතරව තවත් අයෙකු කටයුතු කළ බව ද නීතීඥවරිය ප්‍රකාශ කර ඇති අතර සිද්ධිය වු දින කුරුණෑගල හා හලාවත සාද දෙකකට අමාත්‍යවරයා සහභාගී වී ඇති බව ද පවසා ඇති බව සඳහන්.

මෙම සාද වලට සහභාගී වීමෙන් අනතුරුව රාත්‍රීයේ යළි කොළඹ යෑම දැඩි වෙහෙසකර කටයුත්තක් වන හෙයින් අනිත් රියදුරුට රථය බාරදීමේ අරමුණීන් ඔහුට හලාවතට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත් ඔහු එහි පැමිණ නොතිබූ බව යි නීතීඥ තමරා අබේරත්න මහත්මිය පවසා ඇත්තේ.

එබැවින් තම සේවාදායකයාටම රථය පදවාගෙන කොළඹ පැමිණීමට සිදුවුණු බව ඇය පවසා තිබෙනවා.

තමරා අබේරත්න මහත්මිය වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ හලාවත සිට පැය එක හමාරක කාලයක් තුළ කොළඹ පැමිණීය යුතු බවට සනත් නිශාන්ත මහතා සිය රියැදුරාට නියෝග කර තිබූ බවයි.

මේ හේතූවෙන් නිරන්තරයෙන් අධික වේගයෙන් තම සේවාදායකයාට රිය පැදවීමට සිදුවී තිබුණු බව ද නීතීඥවරිය ප්‍රකාශ කොට ඇති බව යි වාර්තා වන්නේ.

තම සේවාදායකයා සහ මෙම සිදුවීම ගැන සමාජ මාධ්‍ය තුළ යම් යම් අසත්‍ය ප්‍රචාර පැතිරුනත්, සනත් නිශාන්ත මහතාගේ පවුලේ උදවිය ද තම සේවාදායකයාට සිදුවී ඇති තත්වය පිළිබඳ කම්පාවට පත්ව ඇති බව ද ඇය පවසා තිබෙනවා.

එමෙන්ම තම සේවාදායකයා සනත් නිශාන්ත මහතා ළඟ සේවය කරන්නේ පාසල් අධ්‍යාපනය නිමා කළ දිනයේ සිට බවත්, තම සේවාදායකයා සනත් නිශාන්ත මහතාට බොහෝ හිතැති පුද්ගලයෙකු බවත්, සනත් නිශාන්ත මහතාගේ අතිශය පෞද්ගලික කරුණු පවා තම සේවා දායකයා දන්නා බවත් නීතීඥ තමරා අබේරත්න මහත්මිය සඳහන් කර ඇති බව පැවසෙනවා.

එකී කරුණු සළකා බලා සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඇය ඉල්ලා ඇති අතර එම ඇප ඉල්ලීම පිළිගනිමින් රුපියල් ලක්‍ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත් සැකකරුගේ රියදුරු බලපත්‍රය යළි නියෝගයක් කරනතුරු අත්හිටුවීමටද නියම කර ඇති අතර ඔහුට ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද අධිකරණය නියෝග කළා.


සබැඳි පුවත් > > >


Share with your friends :