27 C
Colombo
18/01/2025

කුඩා දැරියක් දූෂණය කළ බව කී OICට ඓතිහාසික තීන්දුවක්

Share with your friends :

බාල වයස්කාර දැරියක් දූෂණය කළ බවට චෝදනා ලද උතුරු කළුතර හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් ඓතිහාසික තීන්දුවක් ලබා දීමට අභියාචනාධිකරණය කටයුතු කර තිබෙනවා.

මෙම තීන්දුව එලෙස ඉතිහාසගත එකක් වන්නේ, වීඩියෝ සාක්ෂි පදනම් කොට ගෙන මෙරට අධිකරණයකින් තීන්දුවක් ලබා දුන් පළමු අවස්ථාව මෙය වීම නිසා යි.

2008 ජූනි මස 23 හෝ ඊට ආසන්න දිනයකදී කළුතරදී වයස අවුරුදු 16 ට අඩු බාලවයස්කාර දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා ඇයට ලිංගික අතවර කිරීම යන කරුණු මත නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව දීර්ඝ විභාගයකින් පසු පූර්වගාමී විනිසුරු අමල් තිලකරත්න මහතා චූදිත වරදකරු කරමින් තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලද්දේ 2017 ජූලි මස 28 වැනිදායි.

එහි දී බාලවයස්කාර දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා ඇයට ලිංගික අපයෝජනයක් සිදු කිරීම යන චෝදනාවලට අදාළව, උතුරු කළුතර හිටපු පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හැරල්ඞ් රෙක්ස් ජැන්සන් මහතා හට කළුතර මහාධිකරණය මගින් වසර 19 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම  කොට තිබුණා.

පළමු චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 12 ක සිර දඬුවමක්ද, වින්දිත දැරියට රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක්  ගෙවන ලෙස ද නියම වූ අතර වන්දි මුදල් නොගෙවන්නේ නම් සැහැල්ලු වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කරන බව ද විනිසුරුවරයා එහි දී ප‍්‍රකාශ කළා.

දෙවන චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 07 ක සිර දඬුවමක් හා රුපියල් විසිදහසක දඩයක් නියම කළ විනිසුරුවරයා දඩ මුදල නොගෙවන්නේ නම් සැහැල්ලු වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කරන බව ද ප‍්‍රකාශ කළා.

පොලිස් ස්ථානාධිපතිවරයා එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කරන ලද්දේ ඉන් අනතුරුවයි.

එම අභියාචනය විභාග කළ අභියාචනාධිකරණය ඔහු සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටයි නියම කොට ඇත්තේ.

එමෙන්ම මෙම සිද්ධිය හේතුවෙන් ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුව සිටි උතුරු කළුතර හිටපු පොලිස් ස්ථානාධිපති බර්නාඞ් රෙක්ස් ජැන්සන් මහතා වැඩ තහනමට ලක්ව සිටි අතර පොලිස් දෙපාර්තමේන්තුව මගින් කළ පරීක්ෂණයේදී ද ඔහු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබුණා.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් බී. අබේකෝන් සහ පී. කුමාරරත්නම් යන මහත්වරුන් ඉදිරියේ මෙම අභියාචනය විභාග වුණා.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිරෝෂන මිහිඳුකුලසූරිය මහතා සමග ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියා.

Share with your friends :