27 C
Colombo
18/01/2025

සෞඛ්‍ය සේවක වර්ජනය දිගටම – දොස්තරලාගේ වැටුප් ගැනත් හෙළිදරව්වක්

Share with your friends :

ජීවත්වීමට සරිලන වැටුපක් හා දීමනාවක් ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිය සමිතිය 72ක් ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය හෙටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

වෛද්‍යවරුන්ට ලබා දීමට රජය තීරණ කර ඇති රුපියල් තිස් පන්දහසක දීමනාව තමනටද ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම වැඩ වර්ජනය ඔවුහු ක්‍රියාත්මක කරති.

සෞඛ්‍ය සේවකයෝ ලක්ෂයක් පමණ ප්‍රමාණයක් මීට එක්ව සිටිති.

ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දු වීමත් සමග මීට පෙර පැවැති වැඩ වර්ජනය අවසන් කළද එම සාකච්ඡාව මෙතෙක් ලබා නොදීම නිසා දැනට ක‍්‍රියාත්මක වර්ජන ක්‍රියාමාර්ගය ඔවුන් ආරම්භ කර ඇත.

අද පැවති වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රට පුරා රෝහල් බොහොමයක කටයුතු අඩාල වී තිබූ අතර රෝහල් කාර්ය පවත්වාගෙන යාමට හමුදාව කැඳවා තිබින.

වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් ලබන වැටුප හා සසඳන කල අනෙකුත් සෞඛ්‍ය වෘත්තීය සමිති හා සෙසු රජයේ සේවකයන්ගේ වැටුප් අතර සුවිශාල වෙනස්කමක් ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය කියා සිටී.
එම වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ නවක වෛද්‍යවරයකු ලෙස පත්වීම් ලබන වෛද්‍යවරයකුගේ අවම මාසික වැටුප් හා දීමනා වල එකතුව රුපියල් දෙලක්ෂ හැට අටදහසක් වන අතර ඇතැම් වෛද්‍යවරුන් පර්යේෂණ දීමනා ලෙස වැටුපෙන් සියයට විසි පහක්ද ලබා ගන්නා බවය. මීට විවිධ දීමනා ගණනාවක් අයත්ය.
මේ අතර විශේෂඥ වෛද්‍යවරයකුගේ ආරම්භක වැටුප් හා දීමනා වල එකතුව රුපියල් තුන් ලක්ෂ හැත්තෑ දෙදහසකි. එසේම වැටුපෙන් සියයට විසිපහක පර්යේෂණ දීමනාවද ඔවුන් ලබා ගනී. වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මෙම වැටුප් හා දීමනා තවත් බොහෝ වැඩිය. එසේම වෛද්‍යවරු පුද්ගලික වෛද්‍ය සේවා පවත්වා ගෙන යන අතර ඒ හරහාද අති විශාල මුදලක් වෛද්‍යවරුන් උපයති.
එහෙත් සෙසු සෞඛ්‍ය සේවකයන්ගේ හා රජයේ සේවක වැටුප් ඉතාම පහල මට්ටමක පවතී.උපාධිධාරී සාමාන්‍ය රජයේ සේවකයකු ගේ වැටුප රුපියල් පනස් දහසක් පමණ වෙද්දී මෙසේ එක සේවාවකට පමණක් අසාධාරණ වැටුප් ලබාදීම දැඩි අසාධාරණයක් බවද සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය කියා සිටී.
මේ නිසා වහාම වෛද්‍යවරුන්ට ලබාදෙන වැටුප් හා දීමනා වලට සාපේක්ෂව සාධාරණ වැටුප් වැඩිවීමක් වහාම සෙසු රජයේ සේවකයන්ට ද ලබා දෙන ලෙස එම වෘත්තීය සමිති සන්ධානය කියා සිටී.

Share with your friends :