27 C
Colombo
18/01/2025

කොළඹ මියුසියස් විද්‍යාලය රැක ගැනීමට එක්වන ලෙස දෙමාපියන්ගෙන් ආයාචනයක්

Share with your friends :

ශ්‍රීලංකාවේ පැරණිතම කාන්තා බෞද්ධ පාසල වන කොළඹ 07, මියුසියස් විද්‍යාලය බේරා ගැනීම සඳහා වහාම මැදිහත්වන ලෙස මියුසියස් විද්‍යාලයේ දෙමව්පියෝ හා ආදී ශිෂ්‍යාවෝ රජයෙන් ඉල්ලා සිටිති.
.
එහි භාරකාර මණ්ඩලය සහ කළමනාකාරීත්වය එනම් නව පරිපාලනය , මෙම ඓතිහාසික පාසලේ භෞතික ව්‍යුහය වෙනස් කිරීම පමණක් නොව, බුදුදහම , බෞද්ධ දර්ශනය හා සිංහල සංස්කෘතිය මත පදනම්වූ වටිනාකම් ද වෙනස් කරමින් මේ වන විට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තිබේ.

මේ වන විට මියුසියස් විද්‍යාලයේ පාසල් නිල ඇඳුම ගවුමේ සිට ටීෂර්ටයට හා සායට මාරු කර තිබේ. රටේ පවතින ආර්ථික අර්බුදය නොතකා ගාස්තු දෙගුණ කර ඇති අතර මෙය බහුතර මධ්‍යම පාන්තිකයන් දෙමාපියන්ට දරා ගැනීම අසීරුවී තිබේ. බෞද්ධාගමට හා සංස්කෘතික වටිනාකම්වලට ප්‍රමුඛත්වය අහිමි කිරීම මේ වන විට මියුසියස් විද්‍යාලයේ දෛනික කටයුතු වලදී පැහැදිලිවම පෙනෙන්නට තිබේ. විද්‍යාලය වාණිජකරණය දෙසට වේගයෙන් යොමු වෙමින් පවතින අතර එය මෙම විද්‍යාලයට ඇති ගෞරවය අහිමි කිරීමටද සියවස් ගණනාවක් පැරණි සම්ප්‍රදායන් විනාශ වීමටද ඍජුව බලපා තිබේ.

මියුසියස් විද්‍යාලය ආරම්භ වූයේ බුදුදහම මුල් කරගත් ජාතිකවාදී පරමාදර්ශයන් සමඟිනි. එය කිසි විටෙකත් මිශ්‍ර පාසලක් හෝ ලාභ ලැබීමේ චේතනාවෙන් කර ගෙන යන අධ්‍යාපන ආයතනයක් බවට පත්වුයේ නැත. එහි නිර්මාතෘවරුන් එය අපේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ප්‍රවර්ධනය කරන අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස සැලකූහ.

මියුසියස් විද්‍යාලය පරම්පරා ගණනාවක් තිස්සේ අපගේ බෞද්ධ ප්‍රජාවේ අනිවාර්ය අංගයක් වී ඇත. එය ආරක්ෂා කර ගැනීම යනු බෞද්ධයන් සහ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප අගය කරන සාරධර්ම ආරක්ෂා කිරීම බව අපගේ හැඟීමය.

මියුසියස් විද්‍යාලයේ නිර්මාතෘවරුන් විසින් දක්වා ඇති මාර්ගෝපදේශක මූලධර්ම වලට අනුකූලව අනාගත පරම්පරාවන්ට අයත් වන ශ්‍රීලාංකික බෞද්ධ දැරියන්ටද මේ මහඟු ජාතික සම්පතෙහි සෙවන ලැබීම අපි සහතික කළ යුතුය. එබැවින් මෙම ගෞරවනීය ආයතනයේ සම්ප්‍රදායට සහ අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට තර්ජනයක් වන තීරණ නැවත සලක බලන ලෙස කළමනාකරණ මණ්ඩලයෙන් සහ භාරකාර මණ්ඩලයෙන් ඉල්ලා සිටීමට අප හා එක්වන ලෙස අපි සියලුම පාර්ශවකරුවන්ගෙන්, දෙමාපියන්ගෙන්, ආදි ශිෂ්‍යාවන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම කාන්තා බෞද්ධ විද්‍යාලයෙන් අපගේ දියණියන්ට උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා දෙන අතරම බෞද්ධ සංස්කෘතිය හා සාරධර්ම මෙන්ම සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට ඔබ විශ්වාස කරන්නේ නම් කරුණාකර මෙම පෙත්සමට අත්සන් කරන්න.

සබැඳි පුවත්
මියුසියස් විද්‍යාලයේ ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පරීක්ෂණයක්….
මියුසියස් විදුහලේ 2024 ගාස්තු වැඩි කල ආකාරය ගැන දෙමාපියන්ගෙන් චෝදනා….
මියුසියස් ගුරුවරියන්ට කළමනාකාරිත්වයෙන් බලපෑම්….

Share with your friends :