27 C
Colombo
20/10/2024

CEB ලයිට් කැපීමෙන් බිලියන ගණන් උපයලා – LECO ශත 18 ටත් ලයිට් කපලා

Share with your friends :

විදුලි බිලෙහි තිබූ ශත 18ක මුදලක් නොගෙවීම නිසා තම නිවසේ විදුලිය විසන්ධි කළ බව ගාල්ල, ගල්වඩුගොඩ පදිංචි විසුම් මාපලගම මහතා පවසයි.

මෙලෙස මාපලගම මහතාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇත්තේ ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශයට විදුලි සැපයුම් ලබාදෙන සීමාසහිත (ලංකා) විදුලි පුද්ගලික සමාගම (LECO) විසිනි.

විසුම් මාපලගම මහතා පවසන්නේ, තමන් රුපියල් 6650.18ක් වූ විදුලි බිල්පත ගෙවීමට ලෙකෝ කාර්යාලයට ගිය අවස්ථාවේ දී ශත 18ක මුදලක් ගෙවිය යුතු දැයි විමසූ විට මුදල් අයකැමි සඳහන් කළේ එවැනි සුළු මුදලකට විදුලිය විසන්ධි නොකරන බැවින් එය නොගෙවීම ගැටලුවක් නොවන බවයි.

රවුම් ගණනක් ගෙවන්න යැයි ද මුදල් අයකැමි පැවසීම නිසා රුපියල් 6650.00ක මුදලක් ගෙවා ඉතිරි වූ රුපියල් 0.18 ගෙවා නැත. ඔහු මෙම ගෙවීම සිදුකර ඇත්තේ 2023-12-19 වැනි දින දී ය.

නමුත් දින කිහිපයකට පසු නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවක දී සීමා සහිත (ලංකා) විදුලි පුද්ගලික සමාගම විසින් නිවසේ විදුලිය විසන්ධි කර දමා ගොස් තිබූ බව මාපලගම මහතා අප සමඟ කීවේය.

ඔහු පැය ගණනකට පසු නිවසට යද්දී විදුලිය විසන්ධි කිරීමේ නිවේදනය නිවස ඉදිරිපිට තබා ගොස් තිබූ බවත් විදුලිය නැවත ලබාගැනීම සඳහා අමතර ගාස්තුව රුපියල් 1,231.00 ක් සහ විදුලිය විසන්ධි කිරීමට හේතු වූ හිඟ මුදල රුපියල් 0.18ක් ගෙවිය යුතු බව ද සඳහන් කර තිබූ බවත් පවසයි.

මේ ගැන විමසීම සඳහා තමන් බිල්පත් ගෙවූ බවට ඇති සියලු ලේඛන සහිතව ගාල්ල රිච්මන්ඩ් කන්දේ පිහිටි ලෙකෝ සමාගමේ කාර්යාලයට ගිය විට ඔහුට පැහැදිළි පිළිතුරක් ලැබී නැත.

එහි සිටි නිලධාරිනියක් පවසා ඇත්තේ විදුලි ඉංජිනේරුවරයා ඇතුළු කිසිම වගකිව යුතු අයකු කාර්යාලයේ නොමැති බවයි. මේ නිසා එම ස්ථානයේ දී තමන්ට අවේගශීලීව කතා කිරීමට සිදු වූ බව ද වගකිව යුතු අයගේ දුරකථන අංකයක් පවා ලබානොදුන් බව මාපලගම මහතා පවසයි.

ඔහු මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් එම ස්ථානයෙන් ඉවත්ව තම කාර්යාලයට ගිය පසු ලෙකෝ සමාගමේ නිලධාරිනියක දුරකථනයෙන් කතා කරමින් පවසා ඇත්තේ තමන් ඇතුළු නිලධාරීන්ගෙන් බරපතල වරදක් සිදුව ඇති බවයි.

දැනට පරිගණක ගත කරන ලද ක්‍රමය අනුව විදුලි බිලෙහි ශතයක් හෝ අඩුවෙන් ගෙවා ඇත්නම් විදුලිය විසන්ධි කිරීමේ ක්‍රමවේදයට ඇතුළුවන බවත් එය පරීක්ෂා කර රුපියල් 10,000.00ට වඩා ඇති බිල් පමණක් විසන්ධිකරන බවත් ඇය පවසා තිබේ. මෙම බිල්පතෙහි ශත 18ක් අඩුවෙන් ගෙවා ඇති බැවින් විදුලි විසන්ධි කිරීමේ ක්‍රමවේදයට ඇතුළත්ව තිබී ඇති නමුත් එය ඉවත්කිරීමට අතපසු වී ඇති බව ද ඇය පවසා ඇත.

මේ සම්බන්ධයෙන් අප ලෙකෝ ආයතනයෙන් විමසූ විට තමන් අතින් වරදක් සිදුව ඇතැයි දුරකථනයට පිළිතුරු දුන් නිලධාරිනියක පිළිගත්තාය.එබැවින් කිසිම අමතර මුදල් අයකිරීමකින් තොරව එදින ම නැවත විදුලි සම්බන්ධතාව ලබාදුන් බව ද ඇය පැවසුවාය.

මේ අතර විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීමකින් පසුව නැවත ලබාදීමට රුපියල් තුන්දහසක දඩ මුදලක් අයකරනු ලබයි.
එම දඩ මුදල හේතුවෙන් විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන ගණනක ලාභයක් උපයා තිබේ. මේ නිසා ඉවක් බවක් නොමැතිව විදුලිය විසන්ධි කරන බවට විදුලි බල මණ්ඩලයට චෝදනා එල්ලවී තිබේ.

Share with your friends :