27 C
Colombo
02/11/2024

මහබැංකුවේ නියෝග බැංකු පිලිගන්නේ නැහැ

Share with your friends :

බැංකු පොලී අනුපාත අඩු කරන්නැයි ශ්‍රී ලංකා මහා බැංකුව සියලු බැංකු වලට නිර්දේශ කර තිබිය දී බැංකු එම නිර්දේශ පිළිිපදින්නේ නැත්තේ මන්දැයි හිටපු මුදල් අමාත්‍ය එජාප කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා මහා බැංකුව මූල්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් පොලී අනුපාත අඩු කරන්නැයි සියලු බැංකුවලට නිර්දේශ කර තිබෙන බව කී කරුණානායක මහතා මහ බැංකු නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ප්‍රශ්නයක් බවද සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කරුණානායක මහතා මේ බව කීය.

“ශ්‍රී ලංකා මහා බැංකුව මූල්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා. එසේ මුල්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් පොලී අනුපාත අඩු කරන්නැයි ශ්‍රී ලංකා මහා බැංකුව සියලු බැංකුවලට නිර්දේශ කර තිබෙනවා. එසේ තිබිය දී එම බැංකුවේ නිර්දේශ මත අදාළ බැංකු පොලී අනුපාත අඩු නොකරන්නේ ඇයි..? එම නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ ඇයි..?
ජනතාව විමුක්ති පෙරමුණේ කතාව විතරයි. නමුත් කිසිම සාර්ථකත්වයක් නැහැ. කතාව පහසුයි. ප්‍රතිපත්තියකට, ඉලක්කයකට සහ අරමුණකට අනුව රට-ජනතාව වෙනුවෙන් ක්‍රියා කිරීම එසේ පහසු නැහැ. වී.අයි ලෙනින් ගැන කතා කතා කළාට රටට-ජනතාවට ඵලක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ රට-ජනතාව වෙනුවෙන් සිය වැඩ පිළිවෙළ ඉදිරිපත් කළ යුතුයි.
රට බංකොලොත් කළේ එක්සත් ජාතික පක්ෂය හෝ එහි නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නොවෙයි. සියලු දෙනාම වැරදි කර තිබෙනවා. රට ගොඩනගා ජනතාවට සාධාරණය ඉටු කිරීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. “VAT” කියන්නේ එම ජාලයට එකතු විය යුතු බද්දක් බව කිව යුතුයි. එම බද්දේ වාසිය අවසාන වශයෙන් පාරිභෝගිකයින්ට ලැබිය යුතුයි.
අපේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. එළවළු මිල වැඩි වුණා. “කැරට්” ගැනම කතා කරන්නේ ඇයි..? “කැරට්” හැරුණු කොට කිසිදු එළවළුවක් මේ රටේ නැද්ද..? ඒ නිසා බිල්ලෝ මවන්න එපා. එසේ බිල්ලෝ මවා මේ වගේ තත්ත්වයන්ගෙන් පටු දේශපාලන වාසි ලබා ගන්න එපා.  
විදුලි බල මණ්ඩලයේ සේවකයින් වගේම අප විදුලිය පාරිභෝගිකයන්ද ආරක්ෂා කළ යුතුයි. රජයේ නිලධාරීන්ට අද වගකීමක් තිබෙනවා. රට-ජනතාව වෙනුවෙන් එම නිලධාරීන් සිය වගකීම් ඉටු කළ යුතුයි.
බුද්ධි ගලනය වළක්වන්න සියලු දෙනාම ක්‍රියාත්මක විය යුතුයි. වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ජනාධිපතිවරයා ප්‍රධාන රජය ක්‍රියා කළේ බුද්ධි ගලනයට උත්තරයක් ලෙසයි. 
රටේ ආර්ථිකය ජනාධිපතිවරයා නිවැරදි මාර්ගයේ ගෙන යමින් බංකොලොත් භාවයෙන් රටත් ජනතාවත් මුදවා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. 2024 මැතිවරණ වර්ෂයක් වනවා. රටට-ජනතාව වෙනුවෙන් ක්‍රියා කරමින් සිටින එක්සත් ජාතික පක්ෂය ඕනෑම මැතිවරණයකට සූදානම් බව කිව යුතුයි” කරුණානායක මහතා පැවසීය.

Share with your friends :