අපි කසාද බැන්දට පස්සේ මං මුලින්ම එයාගේ ගෙදර ගියාම මම අම්මගෙන් ඇහුවා තාත්තගෙ පොටෝ එකක් වත් නැද්ද කියලා. ඒ අම්මා ඒ කතාව මගෑරියා.
තරංගලගෙ අම්මා සැරින් සැරේ ඇවිත් අපිව බලලා ගියා. ඒ ආව දවසක වත් තාත්තා කෙනෙක්ගැන කතාවක් වුණ බවක් මට මතක නෑ.
තරංග කිව්ව විදියට එයාගේ තාත්තා ගැන කතාව කෙටි එකක්. එයාට ඉන්නෙ අම්මා විතරයි . තාත්තා එයා පොඩි කාලෙම නැති වෙලා. තාත්තා ලොකු පවුලක කෙනෙක්. අම්මා දුප්පත් නිසා තාත්තගෙ පවුලෙන් සම්බන්ධෙට කැමති වෙලා නෑ. පස්සෙ ඒ දෙන්නා පැනලා ගිහින් බැඳලා. තරංග අම්මගෙ බඩේ ඉද්දිම ඒ තාත්තා ලොරියක හැප්පිලා මැරිලා.. අම්මා කුලී වැඩට ගිහින් තමයි තරංගට උගන්නලා තියෙන්නෙ . මම විතරක් නෙවෙයි කවුරුත් දන්න කතාව ඒක.
අපේ වෙඩින් එකෙන් පස්සෙ අපි දෙන්නා නැවතුනේ අම්මලා අපිට දුන්න ගෙදර. ඇත්තටම හරි හමන් නෑයෙක් නැති ගෙයක් දොරක් නැති තරංගට මාව දෙන්න අපෙ අම්මලා කැමති වුනේ කැමැත්තෙන්ම නෙවෙයි. මං එයාලගෙ එකම දුව වුන නිසා වගේම මම තරංගව නොලැබුනොත් මැරෙනව කියපු නිසා..
තරංග පොඩි රස්සාවක් කරන්න කැමති වුනේ නෑ. අපෙ තාත්තගෙ උදව්වත් තිබ්බ නිසා එයා ටියුෂන් පටන් ගත්තා. ඇත්තටම තරංග දක්ෂ ගුරුවරයෙක්. ඒ අතරෙ එයා අපෙ තාත්තගෙ ඇඳුම් ව්‍යාපාරයත් බලාගත්තා.
ටික කාලෙකට පස්සෙ මට පුතා හම්බවෙන්න ඉන්නකොට මට එයාලගෙ ගමේ යන්න ආසා හිතුණා. ඒ වෙනකොට තරංග හිටියේ ලංකාවේ නෙවෙයි. අපෙ තාත්තා එක්ක දවස් හයකට ඉන්දියාවේ ගිහින්. ෂොප් එකට රෙදි ගේන්න. ඇත්තටම මම එහෙ ගියේ තරංගට හොරෙන්. තරංග පොඩ්ඩක්වත් කැමති වුනේම නෑ මං එයාගෙ ගෙදර එනවට.
මම එදා ගියේ තරංගගෙ අම්මගෙ වැව් කරවල බැදුම කන්නම ආස හිතුණ නිසා .දොළ දුක කියන්නෙ දොළ දුකක්. ඒ වැව් කරවල බැදුම කනකම් මට නින්ද යන්නෑ වගේ තිබුනෙ. ඉතිං මං තරංගට හොරෙන් නාලිකා එක්ක එහෙ ගියා. ගිහින් තිබුණෙ එකම එක වතාවක් නිසා මට හරියට පාර මතක තිබුණෙ නෑ.
කාර් එක හන්දියෙන් ඇතුළට දාලා ටික දුරක් ගියාම හම්බවෙන වැව ළඟ තිබුණ කඩයක් .අපි එතන කාර් නවත්තලා පාරෙ යන කෙනෙක්ට කතා කළා.
“මාමෙ අර කොළඹ පන්ති කරන තරංග මහත්තයගෙ ගෙදර කොහෙද?”
ඒ මනුස්සයා කඩේ මුදලාලී දිහා බැලුවා. මුදලාලී එලියට ආවා .
“තරංග කිව්වෙ මේ අර ටීවි එකේ එහෙම රට හදන්ඩ යන මහාචාර්ය තරංගද?
කඩේ මිදුලෙ බංකුවක ඉඳගන හිටපු තරුණයෙක් එහෙම ඇහුවෙ උපහාසෙට වගේ.
නාලිකා මං දිහා නොබලම “ඔව්” කියලා කිව්වා.
“උග්‍ර රක්ත පරපුරේ රට හදන්ඩ යන අසහාය ටියුෂන් ගුරා ..තරංග රඹුක්වැල්ල ගැන ඔය කියන්නෙ මුදලාලි.. ඕකා අපි එක්ක ඉස්කෝලෙ යද්දි රංහොටි හේනයලගේ ලක්සිරි රුවන් කුමාර . දැං ඌ දිසානායක මුදියන්සේලාගේ තරංග රඹුක්වැල්ල ..ගොග්ගගෙ කොල්ලා ගිය උඩක්. ”
නාලිකා මං දිහා බැලුවා. කඩේ මුදලාලී කාර් එක ළඟට ආවා.
“අන්න අර ඉස්සරහ ගේ ගාව ඉන්නෙ මිස් ගොග්ගා. මාලු ඉවරයි කිව්වා. ඌත් එක්කම ගියෑකි. ”
කඩේට ටිකක් ඉස්සරහින් මාලු කාරයෙක්ගෙ බයිසිකලයක් නවත්තලා තිබුණා. මාලු කාරයා බිම ඉඳගන මාලු කපලා නැගිටලා මාලු ලෑල්ල ආපහු මාලු පෙට්ටියට දාගත්තා. ඊට පස්සෙ මාලු ගත්ත ගෑනු කෙනාගෙන් සල්ලි ගත්තා. නාලිකා ටැබ් එක අතට අරන් මොකද්දො හෙව්වා .ඒ තරංගගෙ පොටෝ එකක් කියලා මට තේරුණා.
“,මාමෙ..අපි හොයන්නෙ මෙන්න මෙයාගෙ ගෙදර.”
“ඔව් නෝනා ..ඔය මාලු විකුණන්නෙ ඔතන .මෙයාගෙ තාත්තා තමයි.”
අපි මාලු කාරයා ළඟට ගියා. මාලු කාරයා හුඟාක් කෙට්ටු කෙනෙක්. කටු පෑදුණු ඇඟ ,මෝඩ පාට නියාලු මූනක් තිබ්බෙ. මං ඒ මනුස්සයගෙන් ඇහුවා තරංගලගෙ ගෙදරට යන පාර. ඒ මනුස්සයා බය වෙලා වගේ බලාගන හිටියා. ඊට පස්සෙ අත් පය වලින් කතා කරන්න පටන් ගත්තා. ඒ මනුස්සයා කටින් කතා කරන්න උත්සාහ කළත් වචන එලියට ආවෙ නෑ. “ග්ග් ග්ග් ග්ග් ” ගාන සද්දයක් විතරයි එලියට ආවෙ.
“මොනවද මේ මනුස්සය කියන්නෙ.?”
මම නාලිකාගෙන් ඇහුවෙ නාලිකාට ගොලු භාෂාව තේරෙන බව දන්න නිසා.
“තරංගලාගේ ගේ මේ ඉස්සරහ පාරෙලු තියෙන්නෙ. එයා තරංගගෙ තාත්තා නෙවෙයිලු. තරංගගෙ තාත්තා වගේ තරංග ලස්සනයිලු. ”
අපි ඒ මනුස්සයගෙන් එහෙම දෙයක් ඇහුවෙ නෑනෙ. ඒ මනුස්සයා මොකටද එහෙම කතාවක් කියන්නෙ. කොහොම හරි ඒ මනුස්සයා අපිට ඉස්සරහින් බයිසිකලේ පැදගෙන ගියා. අපි පිටිපස්සෙන් ගියා. තරංගලගේ ගේ ඉස්සරහා බයිසිකලේ නවත්තලා අපිට අතින් පෙන්නුවා තරංගලගෙ ගෙදර. ඊට පස්සෙ ඒ මනුස්සයා යන්න ගියා .
කසාදෙන් පස්සෙ මම පළවෙනි වතාවේ ඒ ගෙදරට එනකොට ඒ ගෙදර නොතිබුණ සමහර දේවල් ටිකක් එදා මම දැක්කා. එලියෙ වැලේ පිරිමියෙක්ගෙ සරම් දෙකක් කමිසයක් වනලා තිබුණා. ගේ ඇතුලෙ පිරිමියෙක් ජීවත්වෙන කාමරයක් තිබුණා. ගේ පිටිපස්සෙ මිදුලෙ වැව් කරවල වේලන මඩුවක් තිබුණා. කැඩුණු මාලු පෙට්ටියක් ,මාලු අල්ලන දැල් කෑලි දෙක තුනක් ..
ඒව මං විතරක් නෙවෙයි ,නාලිකත් දැක්කා. ඒ අම්මා හරි බයෙන් බයෙන් වගේ තමා උයල කන්න දුන්නෙ. දෙතුන් වතාවක් කිව්වා අනේ පුතාට කියලා නේ එන්න තිබ්බෙ කියලා.
ඕනවටත් වඩා සැක හිතෙන කාරනා තිබ්බ නිසා ආපහු එන ගමනෙදි ගමේ තැන් තැන් වල වාහනේ නවත්තලා මිනිස්සුන්ගෙන් එක එක දේවල් ඇහුවෙ නාලිකා. ඒ නාලිකාගේ උවමනාවට වඩා මගෙ ඕනකමට.
“ඔය කියන්නෙ ගොග්ගගෙ පුතා ගැන ..”
ඕක තමයි දැනගන්න ලැබුනෙ. ගොග්ගා කියන්නෙ ඒ ගමේ මාලු කාරයා. නූගත්, කැහැටු කැත ලෙඩ පෙනුමක් තියෙන මිනිහෙක්. ජීවත් වුණේ මාලු අල්ලලා විකුණලා. අච්චර ලස්සන යමක් ඉගන ගත්ත ගෑනියෙක් වුන තරංගගෙ අම්මා මේ වගේ මිනිහෙක් බැන්ද එක මොන පුදුමයක්ද..
අන්තිමට නාලිකා නං කිව්වෙ මේ මිනිහා තාත්තා කියලා කියන්න ලැජ්ජා හිතුණ එක සාධාරණයි කියලා. මට තරංග ගැන වරදක් හිතන්න එපා කියලා.
ඇත්තටම ඒ අම්මා මොකට ඒ මිනිහ එක්ක දීග ගියාද කියලා හිතාගන්න බෑ . කැහැටු,කැත,බකල ඒ මදිවට ගොලුවෙක්.
කාලය ගෙවිලා ගියා. පුතාට අවුරුද්දක් විතර කාලෙ දවසක් මායි තරංගයි අතරෙ බහින්බස් වීමක් ඇති වුණා. ඒකට හේතුව ඉස්කෝලෙ යන කාලේ මම යාළුවෙලා හිටපු කෙනා ගැන අපේ ගෙදර ඇතිවුන කතා බහක්. එදා ගෑස් ඉවවෙලා. තරංග කැමති වුනේ නෑ වැස්සේ ගෑස් ගේන්න යන්න. අපේ අම්මා තේ බොන ගමන් කිව්වා දෝනි ඉස්කෝලේ කාලෙ යාලුවෙලා හිටිය කටු කොල්ලා තමා දැං ගෑස් කඩේ දාගන ඉන්නෙ ඔය කියලා. ඔය කතාව දුරදිග ගිහින් තරංග මට කිව්වා මම එයාට හංගපු තව මොනවා තියෙනවද දන්නෑ කියලා. මට ඕකට හොඳටම තරහා ගියා. මම කිව්වා ඔයා ගොග්ගගෙ පුතා කියලා හංගපු එක තරං නම් ලොකු දේවල් මම හංගලා නෑ කියලා හොඳටම ෂුවර් කියලා..
තරංග ගෙදරින් ගියෙ කොයි වෙලාවෙද කියලා මම දන්නෙ නෑ. මම දන්නේ ඊට පැය බාගෙකට විතර පස්සෙ මම බලද්දි එයා ගෙදර හිටියෙ නෑ කියලා විතරයි. ඊට පස්සෙ එයා ගෙදර ආවේ පහුවදා දවල්.
ඊට පස්සෙත් හිටියෙ අසිහියෙන් වගේ .එදා පන්ති ආව ළමයින්ව ආපහු යවලා කියලා දැනගන්න හම්බුණා. එයා කාමරෙන් එලියට ආවෙම නෑ. එයා හිටියෙ එයාගෙ පුස්තකාල කාමරේ. පහුවදා උදේ එයා කුස්සියට ඇවිත් මට කිව්වා “මං අර මිනිහව මැරුවා ” කියලා..
“මොන මිනිහද?”.
“අර තාත්තා කියන එකා. ගොග්ගා.”
ඊට පස්සෙ එයා ආපහු කාමරේට ගිහින් දොර වහගත්තා. මම දරුවත් අරගෙන එලියට බැස්සා. අපේ ගෙදර යන්න හයියක් තිබ්බෙ නැති නිසා නාලිකාට කතා කළා.
නාලිකා නිවාඩු දාගන මාත් එක්ක ගමට යන්න ආවෙ මගෙ බලකිරීමට. ඒත් නාලිකා කිව්වෙ මේ වෙලාවෙ කරන්න ඕන ගමට යන එක නෙවෙයි කියලා. තරංග ආනන්තරීය පාප කර්මෙට බය වෙලා දිවි නසා ගනී කියලා නාලිකා කිව්වා .නාලිකා ඉසුරුත් එක්ක ගමට ගිහින් වෙලා තියෙන දේ බලාගෙන එන්නම් කියලා.
ඊට පස්සෙ මම ආපහු ගෙදර ගියා .තරංග කාමරේ ඇතුලෙ හිටියා .මම කාමරේ දොරකඩ ඉඳන් කතා කළා. මම කිව්වෙ කන්න එන්න කියලා විතරයි. වෙන මොනවත් කියන්න මට තේරුණේ නෑ. තරංග ආවෙ නෑ.
පස්සෙ එයා දොර ඇරගන එලියට ඇවිත් අපේ කාමරේට ගිහින් ඇදුම් බෑග් එකක් හදන්න පටන් ගත්තා. එයා කිව්වෙ එයා යනවා කියලා.
“ඔය මිනිහට දාව උපන්නට වඩා හොඳයි මම නූපන්න නං. අම්මට තිබ්බා මාව නැති කරන්ඩ. මොකට වැදුවද.. අම්මගෙ තමා වරද. අම්මට කට පියාගන ඉන්ඩ තිබ්බා. අම්ම මේක ඔයාට කිව්වෙ නැත්තං මට තරහ යන්නෑනෙ. මං ඒ මිනිහට ගැහුවෙ මරන්ඩ නෙවෙයි. ඒත් මැරියං කියලා තමා.ඔය මිනිහා මැරෙනකං තමා මං බලාගන හිටියෙ..”
ඔය වගේ මුමුණ මුමුණ එයා ඇඳුම් ලෑස්ති කළා. ඒ වෙලාවෙ නාලිකා කතා කළා.
“ඒ මනුස්සය මැරිලා නෑ .. හැබැයි ඔය යකාට ආයේ මේ ගමට නං එන්න වෙන්නෑ. තරංග මේ මනුස්සයව උස්සල පොළවෙ ගහල. කොන්ද හොඳටම ඩැමේජ්. ”
“නාලි..තරංගලගෙ අම්මා.??”
“ඒ මනුස්සයා මේ මොකද්ද හොයනවා ගේ ඇතුළෙ උඹලට එවන්න. අපි ඒකත් අරන් එන්නං. ”
මං ඒක කිව්වම තරංග රෙදි බෑග් එක ඇඳ උඩ දාලා බිම ඉඳගත්තා.
ඊට පස්සෙවත් තරංග මොකුත් කතා කළේ නෑ. මම එයාට තේ එකක් හදල දුන්නා. එයා ගෑනු ළමයෙක් වගේ කකුල් දෙක සෝපාව උඩට අරන් වකුටු වෙලා තේ එක බිව්වා .ඒ අතරෙ මං දිහා බලාගෙන කිව්වා .
“තමුසෙ හරි ඔය නාලිකා කියන ගෑනි හරි මේක මිනිස්සුන්ට කියලා මාව සවුත්තු කරන්න හැදුවොත් මං ඒක ගැනත් බලාගන්නං” කියලා.
රෑ එකොළහ හමාරට විතර නාලිකාලා ආවා. ඒත් මම නාලිකාලට ගේට්ටුවෙන් ඇතුළට එන්න දුන්නෙ නෑ. එයාගෙ තාත්තා ගොග්ගා කියන එක මං වගේම නාලිකාත් දන්න බව තරංග දන්නවා. ඒත් නාලිකාගේ මහත්තයත් ඒක දන්න බව තරංග දැනගන්න ඕන නෑ කියලා මට හිතුණා.
නාලිකා ගෙනත් දුන්නෙ තරංගලගෙ අම්මා දුන්න කොලයක්. ඒක පරණ එක්සයිස් පොතක කොළයක් .ඒක මට නෙවෙයි තරංගට. ඒත් මං ඉක්මනට ඒකෙ පොටෝ එකක් ගහගත්තා. ඊට පස්සෙ තමයි ඒක තරංගට ගිහින් දුන්නෙ.
මොනව වුණත් මම හිටියෙ තරංගව එපා වෙලා. ඇත්තටම මොන විදියෙ මිනිහෙක් වුණත් ඒ තමන්ගෙ තාත්තා . ඒ මනුස්සයා තමන්ගේ තාත්තා කියලා කියන්න ලැජ්ජා හිතෙන්න පුළුවන් කියන කාරණාව කොහොමත් මට පිලිගන්න බැරි වුණා. එයා ඉපදෙනකොටත් එයාගෙ තාත්තා මැරිලා කියලා එයා කියපු බොරුව ,ඒ බොරුව මම දනගත්ත්තා කියල දැනගන එයා හැසිරුණ විදිය ..මට ඒවගෙන් එයා ගැන මහා කලකිරීමක් ඇති වෙලා තිබුණෙ. ඒක එපා වීමක්.
තමන්ගෙම තාත්තව ඒ තරම්ම ප්‍රතික්ෂේප කරන, කවල පොවල උස්මහත් කරපු තාත්තව ලැජ්ජාවක් කියලා හිතන මේ මනුස්සයා ඒ සේරම හංගගෙන මාව බැන්දෙ මං සහ මගේ දෙමාපියන් හරහා උසස් සමාජ මට්ටමකට යන්න තියෙන ඕනකම්ට මිසක් මට ආදරේට නෙවෙයි කියලා මගෙ හිත මට කියන්න ගත්තා.
පහුවදා උදේ වෙනකම්ම තරංග එලියට ආවේ නෑ. මම අපේ අම්මට කතා කරලා සිද්ධ වුන දේවල් කියාගෙන කියාගෙන ගියා. අන්තිමට කිව්වා මට ටික දවසක් අම්මලා එක්ක ඉන්න ඕන කියලා.
ටික වෙලාවකට පස්සෙ අම්මා මට කතා කරලා කිව්වා මාව එක්ක යන්න එනවා කියලා. මම දරුවගෙයි මගෙයි හැමදේම ලෑස්ති කරගත්තා. ඊට පස්සෙ තරංගගෙ පුස්තකාල කාමරේ දොර ළඟට ගිහින් කිව්වා මම අම්මත් එක්ක යනවා කියලා. තරංගගෙන් උත්තරයක් හම්බුණේ නෑ. අපි පිටත් වුණා .
අපේ ගෙදරට යන අතර මඟදි මට මතක් වුණා අර තරංගලගෙ අම්මා එවපු ලිවුම් කෑල්ලෙ මං ගහගත්ත පොටෝ එක. මං ඒක බැලුවා. ඒක බැලුවම මට එකපාර මොකක්දෝ සැකයක් ඇතිවුණා. මම තාත්තට කිව්වා ආපහු හරවගන යමු කියලා.
මම තරංග වුනානම් මේක කියෙව්වට පස්සෙ දිවි නහගන්න හිතෙනවා කියලා විශ්වාස නිසා මම හිතුවා තරංගටත් එහෙම හිතිලා ඇති කියලා.
ඒ අම්මගෙ ලිවුමෙ තිබුණ විදියට තරංග පොඩිම කාලේ තාත්තට ගොඩාක් ආදරෙන් ඉඳලා තියෙනවා .ඉස්කෝලෙදි ගමේදී ගොග්ගගෙ කොල්ලා.. මාලුකාරයගෙ ළමයා කියලා තරංගව උසුලු විසුලු වලට ලක්වෙන්න ගත්තම තමා තරංග ටික ටික තාත්තගෙන් ඈත් වෙලා තාත්තට වෛර කරන්න පටන් අරන් තියෙන්නෙ. කොහොම වුණත් ගොග්ගා නං කවදාකවත් තරංග එක්ක තරහ වෙලා නෑ.
කතාවේ හොඳම හරිය මේ පහළින් තියන විදියට.අම්මා ලියලා තිබුණ විදියට.
“”””උඹ හැමදාම ලැජ්ජා වුනා ඒ මිනිහට තාත්තා කියන්න උඹ ලැජ්ජා වෙන්න ඕන නෑ .ඒ මිනිහා මලත් උඹ බය වෙන්න ඕනත් නෑ..උඹ ආනන්තරීය පාප කරුමෙට අහුවෙන්නෙ නෑ. මොකද ඒ මිනිහා උඹේ තාත්තා නෙවෙයි. උඹ මගෙ බඩේ ඉද්දි අපෙ ලොකු අයියා මාව ඔය ළඟට අරන් ගිහිං මගෙ කටට තුවක්කුව තිබ්බා. මට වෙඩි තියලා මරන්ඩ. උන්ට ලැජ්ජාවක් වුණා අවජාතක ළමයෙක් එක්ක මං අනාථ වුන එක. ඒ වෙලාවෙ ගොග්ගා කොහෙන්දො ඇවිත් අපෙ අයියගෙ අතට මාලු කපන පිහිය තියලා මාව බේරගත්තා. අයියට ඇඟිල්ලකින් මාව පෙන්නුවා ඊට පස්සෙ ළමයෙක් නලවනවා වාගේ අත් දෙක වනලා පෙන්නලා පපුවට අත තියාගත්තා. ඒ කිව්වෙ ළමයා එයාගෙ කියලා..ඒ වෙලාවෙ තමා ගොග්ගා උඹට තාත්තා වුනේ..”
තරංග මැරුනෙ නෑ. එයා මට කිව්වා අපේ පුතාට තාත්තා කෙනෙක් ඕන නිසාවත් අපි එකට ඉමු කියලා. අපෙ අම්මලත් ඒක පිළිගත්තා.
උග්‍ර රක්ත පරපුරේ මහා දේශකයා වගේ හිටපු තරංග මුලු ගැහෙන්න පටන් ගත්තා .අම්මලව බලලා එන්න යමු කියලා කියන්න මට ඕනකම තිබ්බත් මං ඒගැන කතා කරන්න බය වුණා.
ඇත්තටම මට ගොග්ගව දකින්න ඕන වුණා. තමන් මාලු ගෙනියපු පවුලෙ එකම දුවට ආසා කරපු ගොග්ගා. ඒ කෙල්ලගෙ නොසෑහෙන අඩංතේට්ටං ඉවසලා නොලැබෙන බව දාන දැනත් ඒ කෙල්ලගෙ ආරක්ෂාවට පස්සෙන් ගියපු ගොග්ගා. ඒ කෙල්ල එයාගෙ ටියුෂන් සර්ට වහ වැටිලා අමාරුවෙ වැටෙනවා ඇස් දෙකෙන් බලාගන හිටපු ගොග්ගා. සර් කෙල්ලගෙ බඩට ළමයෙකුත් දීලා පැනලා ගියාම කෙල්ල අඬපු තැනම ඉඳගන අඬපු ගොග්ගා. කෙල්ලගෙ අයියා දොළක් අයිනට අරන් ගිහින් කෙල්ලට වෙඩි තියන්න හදනකොට ඒ අයියගෙ අතට මාලු කපන පිහිය තියලා කෙල්ලව බේරගත්ත ගොග්ගා.
ඒ අම්මා ලියපු සිද්ධිය මට මැවිලා පෙනුණා. කලු කැත කැහැටු ගොලු මාලුකාරයා ඒ ළමයා මගෙ කියලා කියපු හැටි. ඇඟිල්ල දික් කරලා කෙල්ලව පෙන්නලා අත්දෙක වනලා ළමයෙක් නලවන විදිය පෙන්නලා ඊටපස්සෙ පපුවට අත තියාගත්තා කියන හැටි….ඒක සිංදුවක විෂුවල් එකක් වගේ මගේ හිතේ හොල්මන් කළා.
.ඊට මාසෙකට පස්සෙ දවසක් නාලිකා කතා කරලා කිව්වා තරංගගෙ අම්මා කතා කරපු බව.
“අර මනුස්සයට ගොඩක් අමාරුයිලු ..ඒ අම්මට අමාරුයි කරගන්න.. තරංගට කතා කරන්න බයයිලු.. මොකද කරන්නෙ..සල්ලි ටිකක් තමා අහන්නෙ.”
මම දෙපාරක් හිතුවෙ නෑ .කෙලින්ම තරංගට මෙහෙම කිව්වා.
“මම යනවා අම්මට සල්ලි ටිකක් දීලා එන්න. ඔයත් කැමති නම් එන්න.”
තරංගත් මාත් එක්ක ආවා. අපි යනකොට ගෙදර දෙතුන් දෙනෙක් හිටියා .ලෙඩා බලන්න ඇවිත්. ගොග්ගා හුඟාක් කෙට්ටු වෙලා. ඇඳේ නැති ගානයි. මම ගියාම ගොග්ගා මං දිහා නිවට නියාලු විදියට බැලුවා. යට ගිය ඇස් වලින් මං දිහා බලාගන මුලින්ම මාව දැකපු දවසෙ කිව්ව දේම අත් වලින් කියන්න පටන් ගත්තා. සාලෙ හිටපු තරංගව ඇඟිල්ලෙන් පෙන්නුවා. පපුවට අත තියලා ඊට පස්සෙ නෑ කියන සංඥාව.
එයාට ඕන වුනේ තරංග එයාගෙ පුතා නෙවෙයි . තරංග එයාගෙ තාත්තා වගේ කියලා කියන්න. මම එයාට ලංවුණා.
” මගෙ මහත්තයා ගොග්ගගෙ පුතා කියලා කියන්නයි මට ආඩම්බර….”
මං ඒක කියලා ඉවර වෙනකොට තරංග මට පිටිපස්සෙ හිටගන හිටියා . ගොග්ගගෙ ඇස් වල කඳුළු ගලාගෙන ගියා මම දැක්කා. තරංග එයා ළඟින් වාඩි වුණා. ගොග්ගා අත් දෙක එකතු කරලා තරංගට වැන්දා. සමාවෙන්න කියන්න වගේ..තරංග මොකුත්ම කතා කළේ නෑ. මේ මිනිහට දන්වත් බැරිද සමාවෙන්න කියලා කියන්න කියලා මට හිතුණා.
මං තරංගව ඇදගන එලියට ආවා.
“දැන්වත් තාත්තා කියලා ඒ මනුස්සයට කතා කරනවා.නැත්තං දවසක අපෙ පුතා ලැජ්ජ වෙයි තමුසෙ එයාගෙ තාත්තා වුනාට. මොකද මං මෙ හැම දේම ළමයට කියනවා.”
මං එහෙම තර්ජනය කළා. ඊට පස්සෙ තරංග ආපහු ඇඳ ළඟට ගියා. මට තේරුණා තරංගට අපි ඉද්දි කතා කරගන්න බැරිකමක් ලැජ්ජාවක් වගේ වෙන්න ඇති කියලා. මං එයාලගෙ අම්මවත් එක්කරගෙන කුස්සියට ගියා .
ඊට ටික වෙලාවකට පස්සෙ අම්මා හදපු තේ එකත් අරන් මම කාමරේට ගියා. අම්මා අපේ පුතාට තේ පෙව්වා. කාමරේ තරංග ගොග්ගගෙ අතකින් අල්ලගෙන ඇඳේ ඔලුව ගහගන අඬනවා මං දැක්කා.
ගොග්ගා මැරිලා. තරංග හයියෙන් ඇඬුවා. මං කවදාකවත් දකලා තිබ්බෙ නෑ තරංග අඬනවා .අනික කතා කරකර හිටපු මිනිහා එකපාර මැරුණෙ කොහොමද කියලා මට සැක හිතුණා.
“තමුසෙ ඒ මනුස්සයගෙ බෙල්ලවත් මිරිකුවද?”
තරංග මොකුත් කිව්වෙ නෑ. ඇඬුවා විතරයි.
මරණ සහතිකේ හැටියට ගොග්ගා මැරිලා තිබුණෙ හෘදයාබාධයකින්. හත් දවසෙ දානෙන් පස්සෙ දා මං තරංගගෙන් ඇහුවා ” ඇත්තටම එදා තාත්තට තමුසෙ මොනවත් කෙරුවද?” කියලා..
“තාත්තෙ කියලා විතරයි කිව්වෙ මං ..”
මං අහගන හිටියා. තරංග කියාගන ගියා.
එයා හිනාවෙලා ඇඬුවා නඳුනි …ඊට පස්සෙ අඬ,අඬා හිනාවුනා.. ඊට පස්සෙ ඇඟිල්ල කරකවලා ඊළඟ ආත්මෙ කියලා මට ඇඟිල්ල දික්කරලා ඔයා කියලා පපුවට අත තියලා එයාගෙම කියලා අත් දෙක ලං කරලා පොඩි ළමයෙක් පෙන්නලා ..ඊට පස්සෙ ආපහු ඊළඟ ආත්මෙ පෙන්නලා එයාගේ නළලෙන් කොන්ඩෙ හදනවා වගේ පෙන්නලා අපහු අඬලා මට ආපහු කියන්න කිව්වා..ඊට පස්සෙ ඇස් පියාගත්තා…එච්චරයි ”
මට තරංග කියපු දේ තේරුනේ නෑ.
“ඒ කියන්නෙ මොකද්ද ඒ කිව්වෙ..?”
” ඊළඟ ආත්මෙ ඔයා මගේම පුතා වෙන්න.ඊලඟ ආත්මෙ මං කැතට උපදින්නෑ. ඔයාට මට තාත්තා කියන්න පුලුවන් කියල..”
ගොග්ගාගේ ගොලු ගීත මිස මට දැන් තරංග හා ගැයූ පෙම් ගී මතක නැත.
සුජාතා මැනිකේ ඉහළගෙදර