27 C
Colombo
24/11/2024

Boeing 737 යානයක කොටසක් අඩි 16,000 අහසේදී කැඩී වැටේ-මගීන් 177 බේරේ

Share with your friends :

Alaska Airlines ගුවන් සේවයේ ගුවන් ගමනකදී Boeing 737 Max 9 ගුවන් යානයක කොටසක් කඩා වැටීමෙන් පසු Boeing 737 Max 9 ජෙට් යානා 171 ක් ගුවන් ගමන් වලින් තාවකාලිකව ඉවත් කිරීමට එක්සත් ජනපද ගුවන් සේවා අධිකාරිය නියෝග කර ඇත.
පසුගිය සිකුරාදා ඇලස්කා එයාර්ලයින්ස් ගුවන් සේවයේ යානයක් මගීන් 177 ක් සමග එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ පොර්ට්ලන්ඩ් සිට කැලිෆෝර්නියාවේ ඔන්ටාරියෝ දක්වා ගුවන්ගත වීමෙන් පසු අඩි 16,000 ක් ඉහල අහසේදී එම යානයේ කොටසක් කැඩී ඉවතට විසිවීමත් සමග එම යානය නැවත පොර්ට්ලන්ඩ් වෙත හදිසි ගොඩබෑමක් කිරීමට සිදු විය.මෙසේ කඩා වැටී ඇත්තේ යානයේ එන්ජිමට පසුපස කොටසකි.
එම කොටස කැඩී යාමත් සමග ගුවන් යානයේ හදිසි ඔක්සිජන් මාස්ක් විවෘත වූ අතර වාසනාවකට මෙන් අදාළ කොටස අසල ආසනයේ මගීන් සිට නැත. ඒ අසල ආසනයක සිටි කුඩා දරුවකුගේ කමිසය දැඩි සුළඟ සමග එලියට ගැලවී ගොස් ඇති අතර දරුවාගේ මව විසින් දරුවා ගුවන් යානයෙන් පිටතට ආදී නොයන සේ අල්ලාගෙන තිබේ.
ඒ සමගම ගුවන් නියමුවන් විසින් ගුවන් පාලකවරුන් වෙත වහාම තත්වය දැනුම්දී ගුවන් යානය ආපසු හදිසි ගොඩ බෑමකට ලක් කර ඇත. හදිසි ගොඩ බෑමේදී එක් අයෙකු සුළු තුවාල ලබා තිබේ.ගුවන් යානයේ කොටසක් කඩා වැටීමෙන් පසුව බියටපත් ඇතැම් ගුවන් මගීන් තම පවුලේ සාමාජිකයන් වෙත අවසන් SMS පණිවිඩ පවා යවා තිබිණි. සිද්ධියෙන් විනාඩි 10 කට පමණ පසුව නිරුපද්‍රිතව හදිසි ගොඩ බෑමක් සිදු කරන්නට නියමුවන් පියවර ගත්හ.
මේ අතර අනතුරට පත් ගුවන් යානය 2023 වසරේ නිෂ්පාදනය කර ඇති අතර 2023 ඔක්තෝබර් මාසයේ තම ප්‍රථම ගුවන් ගමන පවත්වා ඇති නවීනතම ගුවන් යානයකි. මේ දක්වා එම යානය ගුවන් ගමන් 150 ක් පවත්වා ඇත.
ඇමරිකාවේ තවත් ප්‍රධාන ගුවන් සමාගමක් වන යුනයිටඩ් එයාර්ලයින්ස් ගුවන් සේවය සතුව Boeing 737 Max 9 ගුවන් යානා 79 ක් ඇති අතර එයින් කිහිපයක් සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කර ඇත.
මෙසේ යුනයිටඩ් එයාර්ලයින්ස් ගුවන් සේවයේ ගුවන් යානා කීපයක් සේවයෙන් ඉවත් කිරීම නිසා සෙනසුරාදා 60 ක් පමණ අවලංගු කිරීමට සිදු විය.

Share with your friends :