27 C
Colombo
22/09/2024

විසුරුවන කතාව ජාතික ආණ්ඩුවකටද-ටිල්වින්ලා ගන්නේ කවුද?විධායකය අහෝසියට කරූ

Share with your friends :

2024 මැතිවරණ වර්ෂය පටන් ගත් දිනයේ සිටම රටම දේශපාලන උණුසුමෙන් රත්වන්නට පටන්ගෙන තිබේ. සමහරුන් පවසන්නේ කුමන මොහොතක හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණය මුලින් පවත්වන බවය. තවත් සමහරුන් පවසන්නේ මුලින් පත්වෙන්නේ ජනාධිපතිවරණය බවය. ජනාධිපතිවරණය මුලින් පවත්වන බව පවසන පිරිස් කියන්නේ ජුලි මස මැදදී හෝ අවසානයේදී ජනාධිපතිවරණය කැඳවා සැප්තැම්බර් මස අවසානයේ එය පවත්වන බවය. කෙසේ වෙතත් ඔක්තෝබර් 18 වන දිනට ප්‍රථමයෙන් නව ජනාධිපතිවරයෙක් පත්ව සිටිය යුතුය.
මහා මැතිවරණය ගැන පවසන පිරිස් මාර්තු මස මැදදී, මැයි මස අවසන් සතියේදී හෝ ජුනි මස මුල් සතියේ මහා මැතිවරණයක් පවත්වන්නට ඉඩ ඇති බව කියති . කෙසේ වෙතත් මහා මැතිවරණයක් සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් රජයේ පාර්ශවයෙන් ප්‍රකාශ වී නොමැත. එම නිසා මේ සියල්ල තහවුරු නොකළ කාරණා පමණි. එහෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවශ්‍ය ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තිබේ. ඒ හරහා ඇතැම්විට ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නටත් අවශ්‍ය නම් ඊටත් එහා ගොස් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ක්‍රමයට යලි ගමන් කරන්නටත් ඔහු සිතා සිටිනවා වන්නටද පුළුවන. එහෙත් මේ මොහොතේ ජනාධිපතිවරයාගේ සිතේ ඇත්තේ කුමක්දැයි කිසිවෙක් නොදන්නා අතර එය දන්නේ ඔහුම පමණි.ඒ අතරේ කරු ජයසුරියගේ මුලිකත්වයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට යලිත් කරලියට පැමිණ ඇත. සමහරුන් සිතන්නේ ඒ පසුපස රනිල්ගේ ආශිර්වාදය ඇති බවය.

පිල්මාරු හා ජාතික ආණ්ඩු කතා
මේ අතර සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවටත්, ආණ්ඩුවෙන් සමගි ජන බලව්ගයටත් මන්ත්‍රීවරුන් පිරිසක් පිල් මාරු කරන්නට සුදානමින් සිටින බව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්ව ඇත.නව වසරේ පාර්ලිමේන්තු ආරම්භ වන දිනයේදී පාර්ලිමේන්තුව තුළ පිල් මාරුවක් සිදුවනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ ද ආණ්ඩු පක්ෂය දැනුවත් කර ඇත. ප්‍රබල ඇමතිවරුන් විවිධ පාර්ශව කීපයක් සමගම සාකච්ඡා පවත්වා තිබේ. පහසුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම හා අනාගත රජයක ඇමති ධුර මෙහිදී මුලික වශයෙන් අදාළ ඇමතිවරුන්ගේ අවධානය යොමුව තිබේ. මෙහිදී දේශපාලන සදාචාරය කෙසේ වෙතත් ඇමතිවරුන්ගේ පැත්තෙන් බැලූ විට එහි අසාධාරණයක් නොමැත. කුමක් කරන්නත් මන්ත්‍රී ධුරය රැකගත යුතුව තිබේ. දේශපාලනය යනු ඔවුන්ගේ රැකියාවයි. එහි යෙදෙන්නට මන්ත්‍රී ධුරය අත්‍යවශ්‍ය කාරණයකි. ජනතාවට අවශ්‍ය නම් ඔවුන් ජයග්‍රහණය කරවන්නට හෝ පරාජය කරන්නට අවස්ථාව තිබේ.

පසුගිය දින කිහිපය තුළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හා හිටපු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගය පක්ෂය සමග එක් විය. . ඒ අනුව තවත් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පිල් මාරු සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තාවී ඇත.
එක්සත් ජාතික පක්ෂය සමගද එක්වීමට පිරිසක් සූදානමින් සිටිති.ඇතැමුන් පසුගිය සතියේ එජාපයට එක්වුහ.
මේ අතර නව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම සඳහාද සාකච්ඡා දිගටම පැවැත්වේ.
මේ අතර ආණ්ඩුව විසුරුවා හරින බවට විවිධ මාධ්‍ය වාර්තා පළ වීමත් සමග ඒ පිලිබඳවද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුවී තිබේ.මෙම තත්ත්වය හමුවේ දේශපාලන පිල්මාරු ඉක්මන්වී ඇත.

ගොඩහේවාට විරෝධය
කෙසේවෙතත් මේ වන විට සමගි ජන බලවේගය වෙත අලුතින් එක්වන ඇතැම් පිරිස් වෙත මෙතෙක් කල් එම පක්ෂයේ සිටි පිරිස් වෙතින් විරෝධයක් එල්ලවෙමින් තිබේ. ඊට මූලික වශයෙන් හේතුව නව පිරිස් එක්වීමත් සමග පාර්ලිමේන්තුවට යාම සඳහා ඇති තරගය උග්‍රවීමය.තවමත් සමගි ජනබලවේගය එහි සාමාජිකත්වය ලබා දෙමින් එක් කරගෙන ඇත්තේ ජයරත්න හේරත් , චන්දිම වීරක්කොඩි.ශාන් විජයලාල් විජයලාල් හා දයාශ්‍රිත තිසේරා පමණි.
මෙහිදී ඇතැම් චෝදනා ලත් පුද්ගලයන් එක්වීමටද සජබ මන්ත්‍රීවරු අතර දැඩි කතාබහක් ඇතිව තිබේ.වැඩිම විරෝධය පලවී ඇත්තේ නාලක ගොඩහේවා ගේ එක්වීමටය.
රනිල් වික්‍රමසිංහ ගේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිවල සමගි ජන බලවේගය හා සජිත් ප්‍රේමදාස රැගෙන යාමේ වැරදි ක්‍රියාවලියක පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා පසුගියදා එක්තරා නාලිකාවක් ඔස්සේ සඳහන් කර තිබිණි.
අද වනවිට සජිත් ප්‍රේමදාස ගේ සහ තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති එකක් බවත් එම ආර්ථික ප්‍රතිපත්ති රටට හෙළි නොකිරීමෙන් සජිත් ප්‍රේමදාස විශාල වරදක් සිදුකරන බවටත් එහිදී ප්‍රකාශ කල ගොඩහේවා ඉදිරි සමග ජන බලවේග ආණ්ඩුවකට තමාට මුදල් ඇමති ධුරය ලැබෙණු ඇතැයි සිතමින් සමගි ජන බලවේගයේ ඇතැමුන්ට හෘදයාබාධ ඇතිවන තත්ත්වයක් පැන නැගී ඇති බවද මෙහිදී කියා සිටියේය.
මේ ප්‍රකාශ හේතුවෙන් සමගි ජනබලවේගය අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් ගොඩනැගී ඇති අතර එහි ඇතැම් මන්ත්‍රීවරුන් පවසන්නේ මේ සිදුවන්නේ තම පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් ඇතිකර පක්ෂය කොටස් වලට කැඩීමේ උත්සහයක් බවයි. ගොඩහේවා ගේ ක්‍රියාකලාපයන් මෙන්ම ඔහුට එරෙහිව ඇති චෝදනා පමණක් නොව ගෝඨාභය රාජපක්ෂ අසාර්ථකවීමට මුලික වශයෙන් වගකිවයුත්තෙකු ලෙසද ගොඩහේවා සමගි ජන බලවේගයේ ප්‍රබලයන් ගණනාවකගේ දැඩි විවේචනයට ලක්ව ඇත. පසුගිය කාලය පුරා එම පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් නොපවතී නමුත් ගොඩහේවා ඇතුළු නව පාරෂාව වල ආගමනය විවිධ ගැටළු ඇති කර තිබේ.මේ සම්බන්ධයෙන් සජබ ප්‍රබලයකු පැවසුවේ සජබ කිසිවකුත් සමග ගිවිසුම් හෝ තනතුරු පොරොන්දු නොඅමති බවත් තවමත් සමගි ජනබලවේගය එහි සාමාජිකත්වය ලබා දෙමින් එක් කරගෙන ඇත්තේ ජයරත්න හේරත් , චන්දිම වීරක්කොඩි.ශාන් විජයලාල් විජයලාල් හා දයාශ්‍රිත තිසේරා පමණක් බවත්ය.

ජනපතිගේ උතුරු සංචාරය හා දෙමල පක්ෂ වල තීරණය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට උතුරේ සංචාරයක නිරතව සිටී. උතුරේ ජනතාව හමුවුණු ඔහු විවිධ පරෂාව ගණනාවක් සමගද සාකච්ඡා පැවැත්වීය.
ජනාධිපතිවරණයකදී ජයග්‍රහණය සඳහා ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය.
මෙවර මැතිවරණ වලදී සුළු ජාතික ඡන්ද තීරණාත්මක සාධකය බව සැලකිය යුතුය. මේවන විට මෙරට සුළු ජාතික ඡන්ද ප්‍රතිශතය සියයට 31 දක්වා ඉහල ගොස් තිබේ. ඉතිරි සියයට 69 ක් වූ සිංහල ඡන්ද කොටස් ගණනාවකට කැඩී යන බැවින් බලය ලබා ගැනීම සඳහා සුළු ජාතික ඡන්ද තීරණාත්මක සාධකයයි.

මේ අතර මෙවර ජනාධිපතිවරණය පිළිබඳව උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අතර විශේෂ උනන්දුවක් ඇති වී තිබෙන බව පෙනේ. මීට පෙර පැවැති සෑම ජනාධිපතිවරණයකදීම පාහේ දෙමළ පක්ෂ කළේ දකුණ පදනම් කරගත් කුමක් හෝ පක්ෂයකට සහාය දීමය. ඔවුන් ඊට වෙනස් ආකාරයකට කටයුතු කළේ 2005 ජනාධිපතිවරණයේදී පමණි. ඒ ජනාධිපතිවරණයේ දී කොටි සංවිධානය උතුරු පළාතේ ඡන්ද වර්ජනයක් ක්‍රියාත්මක කල අතර ඒ අනුව එය අවසන් ප්‍රතිපලයට ඍජුව බලපෑමක් ඇති කළේය.

දකුණ පදනම් කරගත් යම් යම් පක්ෂවලට හෝ අපේක්ෂකයන්ට ඡන්දය දීමේදීද උතුරේ පක්ෂ එම තීරණයට එළඹුණේ එම පක්ෂයේ හෝ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග අනුමත කිරීම මත නොව තමන්ට එරෙහි අපේක්ෂකයා පරාජය කිරීමේ අරමුණෙනි.ඒ අනුව 2009 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාටත් 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනටත් එම පක්ෂ වල සහය හිමි විය.
දැනට මේ සම්බන්ධයෙන් දෙමළ දේශපාලනඥයන් වෙතින් ප්‍රධාන වශයෙන් යෝජනා තුනක් ඉදිරිපත් වී තිබේ.
ඉන් එකක් නම් ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරනු ඇතැයි පෙනෙන අපේක්ෂකයකු සමඟ සියලු දෙමළ පක්ෂ සාකච්ඡා කොට තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කර එම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම තුල තම ඉල්ලීම් දිනා ගැනීමය.

දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කොට දෙමළ දේශපාලනඥයන් සමඟ සාකච්ඡා කරන තත්ත්වයට දකුණේ අපේක්ෂකයන් පත්කොට තමන්ගේ ඉල්ලීම් පිළිබඳව ඔවුන් සමඟ එකඟතාවක් ඇතිකර ගැනීම හා ඇති කරගන්නා එකඟතාවය මත අදාළ අපේක්ෂකයා අවසන් මොහොතේ තගයෙන් ඉවත් කර ගැනීම දෙවැනි යෝජනාවයි.

ඉතිහාසය පුරා සිංහල නායකයන් දෙමළ ජනතාව රවටා ඇති බවත් එහෙයින් දෙමළ ජනතාව තවදුරටත් සිංහල නායකයන්ට රැවටෙන්නට සුදානම් නැති බව ලෝකයට පෙන්වන්නට සියලු දෙමළ පක්ෂ ජනාධිපතිවරණය වර්ජනය කළ යුතුව බව තුන්වැනි යෝජනාවයි. කෙසේ වෙතත් කොටි සංවිධානය වැනි සන්නද්ධ ව්‍යාපාරයක් නොමැති පසුබිමක මැතිවරණ වර්ජනයකට ජනතාව යොමු කිරීමද පහසු නැත.

සජිත් බානගල උපතිස්ස නා හිමියන්ගේ 74 වැනි ජන්ම දිනයට එක් වෙයි
දශක ගණනාවක් පුරා සම්බුද්ධ ශාසනයටත්, දරු පරපුරටත්, පුරවැසි පරපුරටත් ඉමහත් සේවාවක් කළ පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ 74 වැනි ජන්ම දිනය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්විය. ඒ මාලිගාකන්ද මහාබෝධි විහාරයේ පැවැති අග්‍රාශ්‍රාවක ධාතූන් වහන්සේලා වැඩම කරවීමේ ආගමික උත්සවයට සහභාගී වීමෙන් අනතුරුවය.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් උන් වහන්සේගේ ජන්ම දිනයට සුබ පතා තවත් චිරාත් කාලයක් පුරා සේවය කිරීමට හැකියාව ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනයක් ද සිදු කළේය.

රට බංකොලොත් භාවයෙන් මුදවා ගන්නා හැටි සජිත් කියයි

මේ අතර රට බංකොලොත් වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මවාගත් දේශපාලන වීරයන් ඉදිරියේ ලක්ෂ 220 ජනතාව ඇන්දවීම බවත් ඒ තුළ ගජමිතුරු සංගම්වල පාලක පැලැන්තියේ වහලුන් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවේ සක්වල වැඩසටහනට එක්වෙමිනි.
ජනතාව අන්දවනවා වෙනුවට ජනතාවට සේවය කරන්න මැති ඇමතිකම් වරදාන වරප්‍රසාද අවශ්‍ය නොවන බවත් නිවැරදි දැක්මක් තිබේ නම් එය සිදු කළ හැකි බවත් බංකොලොත් භාවය නැමැති අන්ධකාරය තුළ රිදී රේඛාවක් නිර්මාණය කිරීමට සැවොම එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජිතගෙන් තරුණ තරුණියන්ට අත්වැලක්
රාජිතගෙන් තරුණ තරුණියන්ට අත්වැලක්
කොරියානු රැකියා ඉලක්ක කරගෙන කොරියානු භාෂාව ඉගැන්වීම සඳහා රට පුරා පක්ෂ භේදයෙන් තොරව සමගි ජන බලවේගය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. මෙහිදී ඇතුලත් වීමේ ගාස්තුවක් පමණක් අයකෙරෙන අතර ඒ සඳහා කොරියානු භාෂා ආයතනයක් සම්බන්ධවී සිටී. මේ වන විට රට පුරා දිස්ත්‍රික්ක රැසක අදාළ කොරියානු භාෂා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර වැඩිම තරුණ සහභාගිත්වයක් පැවතුනේ කළුතර දිස්ත්‍රික්කයෙන් බව අදාළ සංවිධායකයෝ පවසති. මෙහි විශේෂත්වය වුයේ අනෙකුත් සියලු දිස්ත්‍රික්කවල පක්ෂ සංවිධාන උපයෝගී කරගෙන තරුණ තරුණියන් මීට රැස් කර ගත්තද කළුතර පක්ෂ භේදයෙන් තොරව මීට තරුණ තරුණියන් සම්බන්ධ වීමය.

මේ සඳහා මේ වන විට කලුතර දිස්ත්‍රික්කයේ හය දහස් පන්සියයක් පමණ තරුණ තරුණියන් සහභාගිවී සිටින අතර එම කටයුතු සංවිධානය කර තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ගේ ප්‍රධානත්වයෙනි. කළුතර පුරහලේ පැවති වැඩසටහනට තුන්දහස් පන්සියයක් පැමිණ සිටි අතර පිරිස හසුරවන්නට සිදු වුයේ පොලීසියටය. මතුගම සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වැඩසටහනට 1500 ක තරුණ පිරිසක්ද හොරණ පුරහලේ වැඩසටහනට තවත් 1500 ක පිරිසක්ද පැමිණ සිටීම අදාළ සංවිධායකවරුන්ගේ දැඩි සතුටට හේතුවූ අතර ඔවුන් පැවසුවේ රාජිත පක්ෂ භේදයෙන් තොරව ජනතාව සහභාගී කරවාගන්නට කටයුතු කර ඇති ආකාරය රටේ සියලුම දේශපාලනඥයන්ට ආදර්ශයක් බවය. මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන හයක අදාළ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වේ.

බදු ගෙවන ක්‍රම සරල හා පහසු කරන ලෙස ජනතා ඉල්ලීමක්

බදු ගෙවීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස රටපුරා ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.
බදු එකතු කිරීම සඳහා අවුරුදු 18 ට වැඩි සියලුම දෙනාට බදු ෆයිල් එනම් බදු ලිපිගොනු විවෘත කලද ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොවීම හා ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිසි පහසුකම් නොසැපයීම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති. ONLINE ක්‍රමයට බදු ලිපිගොනු විවෘත කරගන්නට බහුතර ජනතාව දන්නේද නැත. දේශීය
ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාල ඇත්තේ පළාත් මට්ටමින් හෝ දිස්ත්‍රික්ක මට්ටමින් පමණි. අදාළ කාර්යාල වෙත යාමට විශාල ප්‍රවාහන වියදමක් හා කාලයක් ගතවීම හා එහිදී සිදුවන රස්තියාදුව නිසා ඒ සඳහා සාමාන්‍ය ජනතාව යොමුවන්නේ අඩු වශයෙනි.

බදු ප්‍රශ්න සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු නිලධාරීන් මුණගැසෙන ව්‍යාපාරිකයන්ට අඩු බදු ප්‍රමාණයන් ගෙවීමට හැකි පරිදි ක්‍රමවේද සකස් කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් විශාල වශයෙන් මුදල් ලබාගන්නා බවට චෝදනා එල්ලවී තිබේ.

අතීතයේ ඉංග්‍රීසි පාලන සමයේ ශ්‍රීලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පැවතුනේ බදු එකතු කිරීම සඳහාය. එකල DRO කන්තෝරු ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැඳින්වුයේ මේ නිසාය. එනම් DIVISIONAL REVENUE OFFICER ලෙස එකල ප්‍රාදේශීය ලේකම්වරයා හැඳින්විණි. තවමත් ඉන්දියාවේ එම ක්‍රමය ක්‍රියාත්මක වන අතර දිසාපතිවරු හඳුන්වන්නේ COLLECTOR යන නාමයෙනි. එහෙත් ශ්‍රීලංකාවේ පසුකාලීනව මේ ක්‍රමය වෙනස් කරලීම නිසි බදු ආදායම නොලැබීමට හේතු විය.

ව්‍යාපාර ලියාපදිංචි කිරීම ,වාහන වල වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම , විශ්‍රාම වැටුප් ලබාදීම , අස්වැසුම ආධාර ලබාදීම ,ඉඩම් හිමිකරුවන් පිලිබඳ විස්තර ආදී සියල්ල සිදු කරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගිනි.
සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ග්‍රාමසේවා නිලධාරී , සමෘද්ධි නිලධාරී, කෘෂිකර්ම නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරී .සංවර්ධන නිලධාරී ලෙස නිලධාරීහු පස් දෙනා බැගින් සිටිති. මීට අමතරව ක්ෂේත්‍ර නිලධාරීන්ද සිටිති.
බදු එකතු කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කළහොත් ජනතාවට විශාල පහසුවක් වන අතරම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ට ජනතාව වෙත ගොස් ඔවුන් දැනුවත් කර ඒ සඳහා යොමු කර ගත හැක. එසේ එකතු කරන බදු ප්‍රමාණය මත කිසියම් දිරිගැන්වීමේ දීමනාවක්ද අදාළ නිලධාරීන් වෙත ගෙවිය හැක. දැනටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත අදාළ දිරිගැන්වීමේ දීමනාවන් ගෙවනු ලබන අතර එම නිසා රජයට ඒ සඳහා අමතර මුදලක් වැය නොවේ.

වැට් බදු වැඩි කිරීම හා ඇතැම් භාණ්ඩ හා සේවා සඳහා අලුතින් වැට් බදු පැනවීම නිසා සාමාන්‍ය ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින අතර බදු ආදායම වැඩි කර ගත හොත් වැට් බදු නැවත අඩු කර සාමාන්‍ය ජනතාවට වහාම සහන සැලසීම සිදු කරන්නට රජයට අවස්ථාව ලැබෙනු ඇත.
කෙසේ වෙතත් මේ සඳහා දේශීය අදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් දැඩි විරෝධය පළකර ඇති නමුත් ඒ සඳහා ග්‍රාමීය මට්ටමේ වැඩපිළිවෙලක්ද ඔවුන් ඉදිරිපත් කර නැත. රටේ නිසි බදු ය කර ගැනීමේ ක්‍රියාවලියක් නිර්මාණය වුවහොත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්හට අසාධාරණ හා අයතා ආකාරයට මුදල් ලබා ගැනීමට ඇති අවස්ථාවන් එමගින් ඇහිරෙන නිසාය.
ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ මහජන හිතවාදී බදු ක්‍රමවේදයය. එය මල නොතලා රොන් ගන්නා ක්‍රමයක් මෙනි. ග්‍රාමීය ඇති හැකි ජනතාවගෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් යොදවා ගෙන සුළු බදු මුදලක් පැනවීම හරහා සමස්ත රටෙන් එකතුවන බදු මුදල අති විශාලය. එසේම රේගුව හා සුරා බදු දෙපාර්තමේන්තු මගින් එකතුවන බදු වඩා කාර්යක්ෂම කල යුතුව තිබේ. එමගින් වැඩි කල වැට් බදු අඩු කර සාමාන්‍ය ජනතාවට සහන සැලසිය හැක.
එසේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් වැඩිම බදු ගෙවන දස දෙනෙකුට රජයේ කාර්යාල, බැංකු ,රෝහල් හා ගුවන් තොටුපල වැනි ස්ථාන වලදී ප්‍රමුඛතාවය ලබා දෙන ක්‍රමවේදයක් ඇති කිරීම හරහා ජනතාව වැඩි වශයෙන් බදු ගෙවීම සඳහා පෙළඹවීම සිදු කල හැක.

ශ්‍රීලනිපය කිරි උතුරුවා වැඩට බසී – මෛත්‍රී චන්ද්‍රිකා එක්වෙති
උදාවූ 2024 නව වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජකාරී ආරම්භ කිරීම පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 03 වැනිදා පෙරවරුවේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. කිරි ඉතිරවීමේ චාරිත්‍රය සිදු කරමින් නව වසරේ රාජකාරී ආරම්භ කිරීම සිදු කෙරිණි. නව වසර වෙනුවෙන් පැමිණ සිටි පක්ෂයේ සියලු දෙනාට සුබ පැතූ හිටපු ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කතාබහකද නිරත විය. ඉන් අනතුරුව පක්ෂයේ සියලු දෙනා සමඟ තේ පැන් සංග්‍රහයකටද එක් විය. එම අවස්ථාවට සභාපතිවරුන් වන නිමල් සිරිපාලද සිල්වා මහින්ද අමරවීර ලසන්ත අලගියවන්න දුමින්ද දිසානායක හා පක්ෂ මූලස්ථානයේ කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සභභාගී විය.
මේවන විටත් පොදුජන පෙරමුණේ පිරිසක් ශ්‍රීලනිපය සමඟ සන්ධාන ගතවී කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇත. එම නව සන්ධානයේ ලකුණ සහ නම එළිදැක්වීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රීලනිපයට එක් කර ගැනීමේ සාකච්ඡා සාර්ථක වී ඇති අතර එම කටයුතු ලබන සතියේදී අවසන් කර හිටපු ජනාධිපතිනිය සමග පක්ෂ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතය.

ලබන ජනවාරි 08 වැනිදා ශ්‍රීලනිපයේ විශේෂ තීරණ රැසක් ගැනීමට නියමිත අතර එදින පෙරවරුවේ ගාලු මුවදොර බණ්ඩාරනායක ගුණ සැමරුම පැවැත්වීමට කටයුතු කර තිබේ. ඊට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහභාගී විමට නියමිතය. ඉන් අනතුරුව පක්ෂයේ විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිතය.

වෘත්තීය සමිති මර්දනය
රාජ්‍ය ආයතනයක් වන ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ වෘත්තීය සමිති නායකයන් 28 දෙනෙකු එක්වරම වැඩතහනමට ලක් කිරීම රට පුරා වෘත්තීය සමිති හා රජයේ සේවකයන් වෙත දැඩි බලපෑමක් කල සිදුවීමක් විය. රාජ්‍ය ආයතනයක් ලෙස එක්වරම එවැනි දැඩි තීරණවලට යාම බරපතල කාරණයක් වන අතර මැතිවරණ පෙනිපෙනී මෙවැනි දරදඬු හදිසි තීරණ ගැනීම නැවත වරක් සිතා බැලිය යුතුය.

මේ අතර විදුලි බල මණ්ඩලයේ සේවක නිවාඩු අවලංගු කර තිබේ.සැලසුම්සහගත ව සහ නීතිවිරෝධි අයුරින් නිවාඩු හෝ වෛද්‍ය නිවාඩු මත සේවයට වාර්තා නොකර උද්ඝෝෂණ කටයුතුවලට සහභාගි වී සේවාවන් පවත්වාගෙන යාමට බාධා කළ බව කියන සේවකයින්ගේ සේවය අත්හිටුවා පවතින නෛතික ප්‍රතිපාදන යටතේ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

පවුල් හත් ලක්ෂයක් කන්නෙත් ණයට
වර්තමාන ආර්ථික තත්වය මේ වන විට රටේ බහුතර ජනතාවට කිසිසේත් ඔරොත්තු නොදේ. රටේ ණයගැති භාවයෙන් පෙළෙන පවුල් තිස්එක් ලක්ෂ විසි නව දහස් තුන්සීයයෙන් පවුල් හය ලක්ෂ අනූහත් දහස් අටසීයක් ණය වී සිටින්නේ දිනපතා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම සමීක්ෂණ වාර්තාවක සඳහන් වන බව පැවසේ.
උකස් ක්‍රියාවලියෙන් ණය ලබාගෙන ඇති පවුල් සංඛ්‍යාව 970,000 ක්ද , .මෙයට අමතරව බැංකුවලින් පවුල් 97,000ක්ද මූල්‍ය ආයතනවලින් පවුල් 272,250ක්ද මුදල් තැ‍රැව්කරුවන්ගෙන් පවුල් 303,500ක්ද ණය ලබාගෙන ඇති බව හෙළිවී තිබේ.


රට ගොඩනගන්න හිතන හොඳ මිනිස්සුන්ට ටිල්වින්ගෙන් මාලිමාවට ආරාධනා
ජාතික ජන බලවේගයට එන එන අය එකතු කර ගැනීමට සූදානම් නැති නමුත් රට ගොඩනගන්න හිතන හොඳ මිනිස්සුන්ට තම පක්ෂය විවෘත බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.
බලය ගන්න ඇති උවමනාවෙන් එන ඕනෑම කුණුගොඩක් එකතු කර ගැනීමට සූදානමක් නැති බවද හෙතෙම පැවසීය.
ජාතික ජන බලවේගය රට ගොඩනැගිය හැකි පැහැදිලි ප්‍රතිපත්තියක් සහිත අදූෂිත කණ්ඩායමක් සිටින දේශපාලන ව්‍යාපාරයක් බවත් පැවසූ ඔහු දූෂිත පුද්ගලයන් ඊට එකතු කර ගැනීමට කිසිදු හේතුවක් නැතැයිද ,
කෙසේ වෙතත් ඕනෑම දේශපාලන පක්ෂයකින් එන රට ගොඩනගන්න හිතන හොඳ මිනිස්සුන්ට තම දේශපාලන ව්‍යාපාරය විවෘතවද හෙතෙම තවදුරටත් පැවසුවේය.

මේ අතර ලෝකයේ කිසිදු රටක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් මත ප්‍රශ්න විසඳාගෙන නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජනබලවේගයේ විධායක සභික බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල්ලේ අරමුදලගේ සහාය පැතීමෙන් සිදුවන්නේ රට තවත් අසීරු තත්ත්වයකට පත්වීම බවද ,මෙරට ණය කපා හරින බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය කාලයේ පැවසුවද අද වනතුරු එවැන්නක් සිදුවී නැති බවත් සිදුවී ඇත්තේ තිබුන ණයට තවත් ඩොලර් බිලියන තුනයි දශම එකක පොලියක් එකතුවීම පමණක් බවත් , ජීවත්වීමට නොහැකිව සිටින මිනිසුන්ගෙන් බදු අය කරමින් රටේ කර්මාන්ත අමාරුවේ දමමින් රටේ සම්පත් විකුණන මාවතේ රට ගමන් කරවමින් ඇති බවද හෙතෙම තවදුරටත් පැවසීය.

ස්වර්ණවාහිනී ආයතනයෙන් “මොනරා” නමින් නව ජාතික පුවත්පතක්

ස්වර්ණවාහිනී ආයතනය විසින් “මොනරා” නමින් නව පුවත්පතක් ළඟදීම ආරම්භ කිරීමට යයි. එම නව පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා කටයුතු කරයි. ඔහු ඉරිදා ලංකාදීප පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයාය.
ස්වර්ණවාහිනී ආයතනයේ හිමිකරු ස්භාෂ්කරන් අල්ලිරාජාය . ලොවපුරා රටවල් රැසක විහිදුනු ලයිකා මොබයිල් සමාගමේ හිමිකරු ඔහුය.

රොෂාන් රණසිංහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ ආරම්භ කරයි
හිටපු ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ තම නායකත්වයෙන් පක්ෂයක් ආරම්භ කර තිබේ.
මෝටර් කාරය සලකුණි ලියාපදිංචි කර ඇති ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ යටතේ රොෂාන් රණසිංහ නව දේශපාලන ගමන ආරම්භ කිරිමට සැලසුම් කර ඇත. ගෝමිත යසස් විජේසිරි එහි ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර සභාපති ලෙස රුවන්ගනි චමින්ද්‍ර කටයුතු කරයි.

මන්ත්‍රිවැටුප,ඉන්ධන දිමනා,දුරකථන දිමනා, කාර්යාල දිමනා, දුරකථන දිමනාව ඇතුඵ දිමනා මෙන්ම රජයෙන් ලබා දෙන නිළනිවාස, මන්ත්‍රිවරුන්ට ලබා දෙන තිරුබදු සහිත වාහන බලපත්‍රය ප්‍රභු ආරක්ෂාව ප්‍රතික්ෂේප කිරිම පාර්ලිමේන්තු ආපනශාලාවෙන් ආහාර නොගැනිම රජයේ වාහන භාවිතා නොකිරිම රජයේ මුදල්වලින් විදේශ සංචාර නොයෑම ආදි ජනතාවාදී ප්‍රතිපත්ති ගණනාවක් එම පක්ෂ ව්‍යවස්ථාවට ඇතුලත් කර තිබේ.එම පක්ෂයේ කාර්යාලය නුගේගොඩ ආශ්‍රිතව විවෘත කිරිමට නියමිතය.

ලන්සා -නලීන් බැහැලාම වැඩ
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මැතිවරණ සටන වෙනුවෙන් නිමල් ලන්සා -නලීන් ප්‍රනාන්දු ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති නව සන්ධානයට සමස්ථ ලංකා පොදු ජන ගොවි පෙරමුණ එක්ව තිබේ.
එහි නියෝජිතයන් නව සංධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශණ යාපා රාජගිරිය පක්ෂ කාර්‍යාලයේ දී හමුවි විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
ගොවි සංවිධාන නියෝජිතයින් එහිදී සඳහන් කර ඇත්තේ පොහොට්ටුවේ වැඩ නිසා තමන්ට පීඩනයකින් කටයුතු කිරීමට සිදු වූ බවය.
ඊට පිළිතුරු දුන් අනුර ප්‍රියදර්ශණ යාපා සදහන් කර ඇත්තේ “මේ මොහොතේ රටේ සියලු දේශපාලන පක්ෂ සිදු කරමින් සිටින්නේ කතාකිරීමයි විවේචනය කිරිමයි පමණයි.නමුත් අපිට ජනතා නියෝජිතයන් හැටියට වගකීමක් තියෙනවා මිනිස්සුන්ගේ ප්‍රශ්න නියෝජනය කරන්න.මට මතකයි පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂ මහතා ඒ කාලේ කමිටු විශාල ප්‍රමාණයෙන් පත් කලා.ඊට පස්සෙ ඒ කමිටු වලට පැවරුවා ජයග්‍රහණයෙන් පස්සෙ ඒ යොජනා ක්‍රියාත්මක කරන්න.නමුත් පොහොට්ටුවේ නායකයින් ඒවා හමස් පෙට්ටියට දාලා මිනිස්සුන්ව අමතක කළා
ඒ වගේ වැරැදි නිසා අපි පොහොට්ටුවෙන් අයින් වුනා .දැන් අපිට පුලුවන් ප්‍රතිපත්ති ගරුක දේශපාලන අනාගතයක් රටේ ජනතාවට හදන්න. සමගි ජන බලවේගය,පොහොට්ටුව ,ජේ.වී.පිය මිනිසුන් ට බොරු කියනවා.අපි ඒ වගේ තැන්වලට යන්නෙ නැහැ.මිනිස්සු යන්නෙත් නැහැ.” යනුවෙනි.

Share with your friends :