27 C
Colombo
24/09/2024

ගුවන්තොටුපොළ වෘත්තීය සමිති නායකයන් 28 ක් අනිවාර්ය නිවාඩු යවයි

Share with your friends :

කටුනායක ගුවන්තොටුපොළ තුළ අලුතින් පිහිටුවූ ගුවන්තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයන් 28 දෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (03) දහවල් 12.00 සිට අත්හිටුවා අනිවාර්ය නිවාඩු ගැන්වීමකට සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා පියවර ගෙන තිබිණ.
ඒ සම්බන්ධයෙන් අදාළ සේවකයන්ට ලිඛිතව දැනුම් දීමට ද සභාපතිවරයා පියවර ගත්තේය.
මෙම වෘත්තීය සමිතිය සමඟ කටුනායක ගුවන්තොටුපොළ ඇතුළු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අනෙකුත් සියලු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, අභ්‍යන්තර ගුවන්තොටුපොළ සහ පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයන් සම්බන්ධ වී සිටින බව ගුවන්තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා පැවසීය.
ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන සියලු ගුවන් සේවා අවහිර සහ කඩාකප්පල් කිරීමේ අරමුණෙන් මෙම වෘත්තීය සමිතියේ ලේකම්වරයා විසින් ලිපි යවා ඇති බව එම අනිවාර්ය නිවාඩු ගැන්වීමේ ලිපිවල සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපතිවරයා සඳහන් කර තිබිණ.
එවැනි පියවරක් ගැනීමට මොවුන්ට නීත්‍යනුකූල සහ සදාචාරාත්මක අයිතියක් නැති බව සඳහන් කරන සභාපතිවරයා මෙම විෂමාචාර කටයුත්ත පිළිබඳ බලපෑම්වලින් තොර විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මෙසේ මොවුන් වහාම බලපැවැත්වෙන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වූ බව සඳහන් කරයි.
මෙම වෘත්තීය සමිති නායකයන් සතුව ඇති ගුවන්තොටුපොළ ඇතුළු වීමේ අවසර පත් සහ ඔවුන් සේවය සඳහා භාවිත කළ සියලු උපකරණ ඔවුන්ගේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත භාර දීමට ද දැනුම් දී තිබේ.
මෙම පරීක්ෂණ අවසන් වන තෙක් සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ කිසිදු පරිශ්‍රයක් වෙත ඇතුළු වීම ද මොවුන්ට තහනම් කර තිබේ.

Share with your friends :