27 C
Colombo
24/09/2024

ජනප්‍රිය තීන්දු ගෙන අනාගතය අඳුරු කරන්න බෑ

Share with your friends :

ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටුණු ආර්ථිකයක් සහිත යුගයකට යළිත් රට ගෙනයාමට නොහැකි බවත් දුෂ්කර වුවද වත්මන් මාර්ගයේ ඉදිරියට යාමෙන් රටේ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කරගත හැකි යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වැරදි ආර්ථික තීන්දු ගැනීමෙන් සිදුවන්නේ රුපියල නැවත අවප්‍රමාණය වීම බව කී ජනාධිපතිවරයා ඇතැමුන් පවසන ආකාරයේ ජනප්‍රිය තීන්දු ගෙන රටේ අනාගතය අඳුරු කිරීමට තමන් සූදානම් නොමැති බව අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද (3) පැවැත්වුණ “ශිල්ප අභිමානී 2023” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල අමතමිනි.

අසීරුතා හමුවේ ද ජනතාවට හැකි සෑම සහනයක්ම ලබාදීමට ඉදිරියේද කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා මෙරට හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය විදේශ විනිමය උපයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට අවශ්‍ය සියලු සහය ලබාදීමට රජය කටයුතු කරන බවද සඳහන් කළේය.

සාම්ප්‍රදායික හා සංස්කෘතික වටිනාකමක් ඇති හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර සංරක්ෂණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම, හස්ත කර්මාන්ත ශිල්පීන් සමාජීය වශයෙන් ඇගැයීමට ලක් කිරීම හා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව මඟින් වාර්ෂිකව “ශිල්ප අභිමානී” ජාතික හස්ත කර්මාන්ත තරගය සහ ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

මෙවර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශයේ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීම මත “ශිල්ප අභිමානී” 2023 ජාතික හස්ත කර්මාන්ත තරගය පැවැත්විණි.

මූලික හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර 31ක් යටතේ අනු ක්ෂේත්‍ර 66ක් නියෝජනය කරමින් මෙම තරගය සංවිධානය කර තිබු අතර ඒ සඳහා ලැබුණ නිර්මාණ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත සුදුසුකම් ලත් විනිශ්චය මණ්ඩලයක් මඟින් තෝරා ගනු ලැබිණි. මෙම ජයග්‍රාහකයන් ස්වර්ණ සහ රජත සම්මානවලින් පිදුම් ලැබීම මෙන්ම ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන වෙත කුසලතා සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

Share with your friends :