27 C
Colombo
23/09/2024

ලංකාව මානුෂිය ඛේදවාචකයකට පත්වෙලා

Share with your friends :

වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකළාපය හේතුවෙන් මෙරට ජනතාව ලක්ෂ 27 ක් අලුතින් දිළින්දන් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාව වර්තමානයේ මානුෂිය ඛේදවාචකයකට පත්ව ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (3) පැවසීය.

සාරි සහ සිල්රෙදි බෙදා ජනතාව චූන් කරමින් මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බවත් ණය ප්‍රතිව්‍යුවහගතකරණය කිරීම, ආණ්ඩුවේ වියදම් පාලනය කරගැනීම. ආණ්ඩුවේ ආදායම් වැඩි කරගැනීම වැනි දෑ මූල්‍ය අරමුදල කිව්වත් නොකිව්වත් කළයුතු බවත් ඒ මහතා කීය.

පෝලිම්, බඩු හිඟයක්, පොහොර හිඟයක් නොමැති නිසාත් වාහන හැර අනිත් සියලුම දෑ සඳහා ආනයන සීමා ඉවත්කර ඇති නිසාත්, රට මූල්‍යමය වශයෙන් ස්ථායිකරණය කර ඇතැයි ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන මහ බැංකු අධිපතිතුමා සහ රජයට උපදෙස් සපයන විශේෂඥවරු පවසන බව කී රණවක මහතා පසුගිය උත්සව සමයේදී විශාල පිරිසක් රට වටේ මෙන්ම විදෙස් සංචාර සඳහා ගොස් මුදල් වියදම් කළ නිසා මෙන්ම රටේ බොහෝ ස්ථානවල සැණකෙළි පැවැත් වූ හේතුවෙන් රට සාමාන්‍යකරණයට පත්ව ඇතැයි ප්‍රකාශ කරන බව ද සඳහන් කළේය.

අධික විදුලි බිල්, අධික ඉන්ධන ගාස්තු සහ දුරකථන ගාස්තු ඇතුළු අනෙකුත් සියලුම දෑ හේතුවෙන් එය රටේ ආර්ථික වර්ධනය ඇණහිටවන හේතුවක් බවට පරිවර්තනය වීමක් බව ද එමගින් ආර්ථික හැකිලීමක් සිදුවන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරටත් කීය.

‘නව වසරේ දේශපාලන හා ආර්ථික අභියෝග’ මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (3) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එසේ පැවසීය.

Share with your friends :