27 C
Colombo
23/09/2024

ජපාන භූමිකම්පාවෙන් මරණ 55 – නිවාස දහස් ගණන් වැනසෙයි – 57000 ක් අවතැන්

Share with your friends :

නව වසර උදාවත් සමඟ ජපානය කැලැඹූ ඒකක 7.6 ක ප්‍රබල භූමි කම්පාවෙන් සහ අතුරු කම්පාවලින් සිදුවුණු හානිය අතිමහත් බවත්, ප්‍රබල භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වූ බවත්, බොහෝ දෙනකු තවමත් සුන්බුන් අතරේ සිරවී සිටින බවත් ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පවසයි.

මේ වන විට භූමිකම්පාවෙන් 55 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර මිය ගිය සංඛ්‍යාව ඉහල යමින් පවතී. එසේම තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත. භූමිකම්පාවෙන් නිවාස දසදහස් ගනනක් විනාශවී ඇති අතර අවතැන්වූ සංඛ්‍යාව 57360 කි. තවත් නිවාස හා ගොඩනැගිලි භූමිකම්පාවෙන් පසුව ඇතිවූ ගින්නෙන් විනාශ වී ඇත. භූමිකම්පාවේ අපිකේන්ද්‍රය අවට ප්‍රදේශවල නිවෙස් වලින් සියයට අනුවක්ම මුළුමනින් විනාශවී ඇත.
සුන්බුන් අතරේ සිරවුණු පිරිස් මුදා ගැනීමට සහන සේවකයන්, කාලය සමඟ සටනක නියැලී සිටින බවත්, හමුදාවේ සහාය ද සහන සේවකයන්ට හිමිවන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය. අග්‍රාමාත්‍ය කිෂිඩා මෙම හමුවේ අදහස් දැක්වූයේ සහන සේවකයන් සහ ආපදා කළමණාකරන නිලධාරීන් හමුවී ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

ජපන් ආරක්ෂක අමාත්‍ය මොනෝරු කිහාරා පැවැසුවේ, විපතට පත්වූවන් ආධාර ලබා දීමට හමුදාවේ 1,000 ක් යොදවා ඇති බවත්, තවත් 8,500 ක් සීරුවෙන් තබා ඇති බවත්ය. භූමි කම්පාවෙන් සිදුවුණු හානිය සම්බන්ධයෙන් සොයා බැලීම හමුදා ගුවන් යානා යොදා ගනිමින් සිදුවන බව ද පැවැසෙයි.

රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් සටහන් කළ භූමි කම්පාවෙන් ඉෂිකාවා පළාතට දරුණු හානි සිදුවිය. ගොඩනැගිලි සහ නිවාස බොහොමයක් බිමට සමතලා විය. විදුලි බල සැපැයුම් සම්පූර්ණයෙන්ම බිඳ වැටුණි.

Share with your friends :