27 C
Colombo
23/09/2024

ළඟදීම ජාතික ආණ්ඩුවක් ? මුලින් ජනාධිපතිවරණයක වාසිය ලැබෙන්නේ කාටද?බාල බෙහෙත් මහා මොළකාර දෙන්නා මෙන්න -සජබ කොටවන මෙහෙයුමක්-මාතරට කාන්තා සුනාමිය

Share with your friends :

ඉදිරි සති කිහිපය තුල නව ජාතික ආණ්ඩුවක් ? මුලින් ජනාධිපතිවරණයක වාසිය ලැබෙන්නේ කාටද?බාල බෙහෙත් මහා මොළකාර දෙන්නා මෙන්න – සජබ නායකයන් කොටවන මෙහෙයුමක් -අනුර බලන්න මාතරට කාන්තා සුනාමියක් = මෛත්‍රී චන්ද්‍රිකා එක්වෙයි – චන්ද්‍රිකාට ශ්‍රීලනිප ලොකු තනතුරක්- සෞඛ්‍ය අර්බුදය බරපතලයි – ඖෂධ හිඟයක් ළඟදීම

2024 මැතිවරණ වසර ඉදිරියේ මේ ගෙවී යන්නේ 2023 වසරය. 2024 වසර තරම් මෙරට දේශපාලනය රත් කෙරෙන වෙනත් වසරක් ගැන මෑතකාලීනව මතකයේ නොමැති තරම්ය. 2024 ආරම්භ වන්නේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ විශාල සැලසුමක්ද ඇතිවය. මේ අනුව රට යලි ආර්ථිකව ගොඩනැගීම සඳහා නව ජාතික ආණ්ඩුවක් බිහි කිරීමට නියමිත අතර සියලුම පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු ගණනාවක් ඊට එක්වීමට නියමිතව තිබේ.
මේ සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක්ද එක්වීමට නියමිතව ඇති බව පැවසෙන්නේ ඇමති තනතුරු පවා බලාපොරොත්තුවෙන් නොවේ. කෙසේ වෙතත් එසේ එක්වෙන කීප දෙනෙකුට පමණක් ඇමති තනතුරු කීපයක් ලබා දීමට නියමිතය.
නව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ උත්සහයක් ?
දැනට රටේ පවතින අයහපත් ආර්ථික තත්වයට වහාම පිළියම් ලබාදෙමින් ජනතා ප්‍රශ්න වලට ඉක්මන් විසඳුම් ලබාදෙමින් කෙටිකාලයක් තුල සාමාන්‍ය ජනතාවට සහන සැලසීම හා ඉන්පසුව රට පුරා සමස්ත ජනතාවට විධිමත් ආර්ථික සංවර්ධනයක් ඇතිකරදීමත් රටේ නීතිය හා සාමය ස්ථාපිත කරමින් සියලුම ජාති ආගම්වලට සමයෙන් සමගියෙන් ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීමත් නව ජාතික ආණ්ඩුව පිහිටුවීමේ ප්‍රධාන අරමුණු අතර වෙයි.
එසේම රටේ දේශීය නිෂ්පාදනය ඉහල නංවමින් දේශීය කර්මාන්ත ඉහල නංවමින් නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමත් , විදේශ ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කරමත් , ඊට මුලික වශයෙන් ඇති බාධාවන් හඳුනාගෙන ඒ සඳහා දීර්ගකාලීන ක්‍රියාමාර්ග ගැනීම , විදුලි ගාස්තු අඩුකිරීම සඳහා නව වැඩපිළිවෙලක් , අපනයන දිරිගැන්වීම හා රටට ඩොලර් අදායම වැඩිකර ගැනීම සඳහා නව ක්‍රියාමාර්ග ගැනීම ආදී නව වැඩපිළිවෙල රැසක් දියත් කෙරෙන අතර දුෂණ මැඩලීම සඳහා නව වැඩපිළිවෙල රැසක්ද ආරම්භ කිරීමට නියමිතය. රජයේ මිලදී ගැනීම් හා ගනුදෙනු සඳහා නව පාරදෘශ්‍ය ක්‍රමවේදයක් ඇති කෙරෙන අතර සාමාන්‍ය ජනතාවට පවා ඍජුවම රටේ රාජ්‍ය අංශයේ ඕනෑම ගනුදෙනුවක් හෝ මිලදී ගැනීමක් සම්බන්ධයෙන් පරීක්ෂා කළහැකි ක්‍රමවේදයක් ඇති කෙරෙන අතර මේ සඳහා සංවර්ධිත රටවල භාවිත කෙරෙන ක්‍රමවේද නව ජාතික රජය හරහා සිදු කරන්නට නියමිතය.
ජනාධිපතිවරණයද ? මහමැතිවරණයද ?
2024 ජනාධිපතිවරණය, මහා මැතිවරණය පැවැත්වීමට නියමිතය. මුලින් ජනාධිපතිවරණය පැවැත්වෙන බව කියවෙතත් ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් නොමැත. පොහොට්ටුවේ ඉල්ලීම වී ඇත්තේ මුලින් මහා මැතිවරණයක් පවත්වා ඉන්පසු ජනාධිපතිවරණයකට යාමය. ඔවුන්ගේ මැනීම අනුව ජනාධිපතිවරණයකට පසුව පැවැත්වෙන මහා මැතිවරණයකට වඩා වැඩි ආසන ගණනක් ලබා ගත හැක්කේ මුලින් පැවැත්වෙන මහා මැතිවරණයකට යාමෙනි. ජනාධිපතිවරණය මුලින් පවත්වා එයින් පත්වන ජනාධිපතිවරයා වහාම පාර්ලිමේන්තුව විසුරුවා ජනාධිපතිවරණයක් පැවැත්වූ විට එම රැල්ල යන්නේ ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා නියෝජනය කරන්නාවූ පක්ෂයටය. මුලින් මහා මැතිවරණය පැවැත්වූ විට ඉන්පසු පැවැත්වෙන ජනාධිපතිවරනයේදී පත්වන ජනාධිපතිවරයාට වසර දෙකහමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්නටද නොහැකිය.
අප්‍රේල් මාසයේ රජය විසුරුවා මහා මැතිවරණයකට ගියහොත් මයි මස අවසාන සතියේ හෝ ජුනි මස මුල් සතියේ මහා මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව තිබේ. පවතින තත්වය අනුව එහිදී කිසිදු දේශපාලන පක්ෂයකට එහිදී 113 ක පැහැදිලි බහුතරය ලබා ගත නොහැක. එවිට සිදුවන්නේ සභාග ආණ්ඩුවක් පිහිටුවීමටය. එවිට සියලු පක්ෂ එක කරගෙන සභාග ආණ්ඩුවක් හෝ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට සමීප උපදේශක වරුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බව පැවසේ.

ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනය ජුලි මැද – ජනාධිපතිවරණය සැප්තැම්බර් අවසානයේ
මහා මැතිවරණය පැවැත්වුවත්,නැතත් ජුලි මස මැදදී ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනය නිකුත් කරන්නටත් ,සැප්තැම්බර් මාසයේ අවසානයේ ජනාධිපතිවරණය පැවැත්වීමටත් මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇතැයි පැවසේ. එම නිසා මුලින් මහා මැතිවරණය පැවැත්වුවද , ජනාධිපතිවරණය පැවැත්වුවද වෙනස ඇත්තේ ආසන්න වශයෙන් මාසයත් මාස එකහමාරත් අතර කාලයකි. වත්මන් ජනාධිපතිවරයාගේ පැත්තෙන් බැලූ කල මුලින් ජනාධිපතිවරණය පැවැත්වුවහොත් ජනාධිපතිවරණ සටනේ වැඩි බර ජනාධිපතිවරයාට තනිවම කරගසන්නට සිදුවන අතර මහා මැතිවරණය මුලින් පැවැත්වුවහොත් ආණ්ඩුවේ සියලු දෙනා තම තමන් සියලු බලය හා වියදම් දරාගෙන පාර්ලිමේන්තුවට පැමිණිය යුතුය. එවැනි වාතාවරණයක රනිල් හා එජාපය සමග යාම හැර පොහොට්ටුවටද වෙනත් විකල්පයක් නැත්තේ විධායක බලතල රනිල් වික්‍රමසිංහ සතුව පවතින බැවිනි. එවිට තම විධායක බලතල මහා මැතිවරණ සටනට භාවිතා කරන්නටද වත්මන් ජනාධිපතිවරයාට අවස්ථාව හිමිවේ. එසේම තමන් විසින් පිහිටුවන ආණ්ඩුවක ඇමතිවරුන් සමග මීළඟ ජනාධිපතිවරණයට තරගකිරීමේ වාසියද ජනාධිපතිවරයාට ලැබේ. එහිදී රනිල් වික්‍රමසිංහ වෙත ඇති අවදානම මෙන්ම බරද අඩුය. අනෙක් අතට තමන්ගේ ඇමති තනතුරු බේරාගන්නට නම් කෙසේ හෝ රනිල් ජයග්‍රහණය කරවීමටද එවිට ඇති ඇමති මණ්ඩලයට සිදුවනු ඇත.

මුලින් ජනාධිපතිවරණයක වැඩිම වාසිය හා අවශ්‍යතාව ජවිපෙ ප්‍රමුඛ ජාජබයට
කෙසේ වෙතත් මුලින්ම ජනාධිපතිවරණය පැවැත්වීමේ වැඩිම අවශ්‍යතාවය ඇත්තේ ජාතික ජනබලවේගයටය.
ඒ ඔවුන්ගේ සුපර් ස්ටාර් අනුර කුමාර දිසානායක හැරුණු විට රට පුරා පැතුරුණු දේශපාලන තාරකාවන් විශාල වශයෙන් නොමැති නිසාය. ඔවුන්ගේ දිස්ත්‍රික් මට්ටමේ ප්‍රබලයන් සිටියද සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයන්ට වඩා ප්‍රමුඛතාවය දෙන්නේ පක්ෂයටය. මුලින් මහා මැතිවරණයක් පැවැත්වුවහොත් අනුර කුමාර දිසානායක වැනි දේශපාලන තාරකාවන් රට පුරා සියලු දිස්ත්‍රික්ක වෙත සොයා ගැනීමේ අභියෝගයට ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවේ.

රනිල් නුවරඑළියෙන් කොළඹට – එජාප නායකත්ව මණ්ඩලය වැඩ අරඹයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය බිරිඳ මෛත්‍රී සමග පසුගිය දිනවල නුවරඑළියේ කාලය ගත කල අතර නැවත කොළඹට පැමිණියේ දෙසැම්බර් 31 වැනිදාය. 2023 දෙසැම්බර් 31 සිට එක්සත් ජාතික පක්ෂයේ මෙතෙක් පැවති සියලු තනතුරු අහෝසි වුනු අතර 2024 ජනවාරි පළමුවැනිදා සිට බලය හිමිවන්නේ නායකත්ව මණ්ඩලය වෙතය.රුවන් විජේවර්ධන, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, හරින් ප්‍රනාන්දු, නවීන් දිසානායක, වජිර අබේවර්ධන එජාප නායකත්ව මණ්ඩලයට පත් කර තිබේ.
2024 ජනාධිපතිවරණය මුල් කරගෙන විවිධ වැඩසටහන් හා පක්ෂ ප්‍රවර්ධන කටයුතු දියත් කිරීම නායකත්ව මණ්ඩලයට පැවරී තිබේ. සෙසු දේශපාලන පක්ෂ හා සාකච්ඡා කිරීම පැවරී ඇත්තේ රවී කරුණානායක සහ හරින් ප්‍රනාන්දු වෙතය.

සමගි ජන බලවේගයේ නායකයන් කොටවන මෙහෙයුමක්
මේ අතර පසුගිය සති දෙකක පමණ කාලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හට දැඩි අවිවේකී කාලයක් විය. රට පුරා යමින් දිවා රාත්‍රී දේශපාලන කටයුතුවල නිරතවීම නිසා විපක්ෂනායකවරයා පසුගිය දිනවල සිටියේ මඳක් අසනීප ගතියෙනි. අසනීප මධ්‍යයේ වුවද සජිත් තම ජනතා මෙහෙවර නතර කලේ නැත.

මේ අතර නිදහස ජනතා සන්ධානයේ පිරිසක් සමගි ජන බලවේගය සමග සන්ධාන ගතවූ බවට හා ඔවුන් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කල බවට ප්‍රචාරයක් පැතිර ගියේය . මේ සමග විවිධ මාධ්‍ය ඔස්සේ එසේ සම්බන්ධවූ පිරිස් වෙත ආසන සංවිධායක ධුර හා ඇමති ධුර ලබාදීම ට පවා එකඟතා ඇතිවූ බවට ප්‍රචාරය විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජනබලවේගයේ නායකයින් ප්‍රකාශ කලේ එවැනි අවබෝධතා ගිවිසුමක් නොමැති බවත් සජබ අභ්‍යන්තරයේ ගැටුම් ඇති කිරීම සඳහා එවැනි සංවිධානාත්මක ප්‍රචාර දියත් කර ඇති බවය.
සුදුළුණු වංචාවට සම්බන්ධ නිලධාරියා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් කරලා-මුජිබර්ගෙන්ආණ්ඩුවට දැඩි චෝදනා

මේ අතරේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ සතියේ ආණ්ඩුවට දැඩි ලෙස දුෂණ චෝදනා එල්ල කළේය.
වික්‍රමසිංහ රාජපක්ෂ පාලන තන්ත්‍රය තුළ රටේ නීතියේ ආධිපත්‍ය බිඳවැටී ඇති බවත් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවට රට තුළ නීතියේ ආධිපත්‍ය ඇති කිරීමට නොහැකි බවත් ඒ සඳහා ඔවුන්ට අවශ්‍යතාවයක් ද නැති බව කී මුජබීර් වංචා දූෂණ නැති කළ යුතුයි කියා පවසන ජනාධිපතිවරයා සුදුළුණු වංචාව සිදුවන අවස්ථාවේ සතොස ආයතනයේ විධායක නිලධාරියා ලෙස කටයුතු කළ එම වංචාවට වගකිවයුතු පුද්ගලයාව මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇති බවය.
“සතොස ගෙනාපු සුදුළුණු පෞද්ගලික ව්‍යාපාරිකයන්ට විකුණලා නැවත ඒ පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ එම සුදුළුණු මිලදි අරගෙන විශාල වංචාවක් සිදුවුණා. එම වංචාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක්ද පැවැත්වුවා. සතොසේ හිටපු නිලධාරීන් පිරිසක්ද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. නමුත් අදවනවිට ඒ පරීක්ෂණ පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වෙන්නේ නෑ. මෙම සුදුළුණු වංචාව වන අවස්ථාවේ සතොසේ විධායක නිලධාරියා ලෙස කටයුතු කර එම වංචාවට වගකිවයුතු පුද්ගලයාව ජනාධිපති විසින් මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා බවට පත් කරලා තිබෙනවා. වංචා දූෂණ නැති කළ යුතුයි කියලා කියන ජනාධිපතිවරයා ඔවුන් අමාත්‍යාංශවල ලේකම්වරු ලෙස පත් කරනවා. සුදුලූණු වංචාව සිදුවනවිට වෙළද ඇමැතිවරයා ලෙස කටයුතු කළේ බන්දුල ගුණවර්ධන. බන්දුල ගුණවර්ධන මහා මාර්ග ඇමැති වුණාම සුදුළුණු වංචාව වන අවස්ථාවේ සතොසේ විධායක නිලධාරියා ලෙස කටයුතු කර එම වංචාවට වගකිවයුතු පුද්ගලයාව මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් කරලා තිබෙනවා. වර්තමාන රජය දූෂිත නිලධාරීන්ට එරෙහිව කටයුතු නොකර දූෂිත නිලධාරින්ව ලං කරගෙන දූෂණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න තමයි කටයුතු කරන්නේ. ඩීල් වලට පහසු පුද්ගලයින්ව තමයි ඇමැතිවරු තමන්ගේ ලේකම්වරු ලෙස පත් කර ගන්නේ. වංචා දූෂණවලට උදව් කරන අනුමැතිය ලබාදෙන ලේකම්වරුන්ට ඇමැතිවරු කැමැතියි. එවැනි ලේකම්වරු පත් කිරීමට කිසිදු සොයා බැලීමකින් තොර ජනාධිපතිවරයා අනුමැතියත් ලබාදෙනවා.
” මුජබීර් පැවසීය.

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මැකි යාමට වගකිව යුතු ආයතයට පාස්පොට් හදන්න අවස්ථාව

“ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ තිබුණ දත්ත කිහිපයක් මැකි ගිහින් තිබුණා. මෙම දත්ත මැකි යාම සංවිධානාත්මකව සිදුකළ කටයුත්තක් බව විපක්ෂය සඳහන් කළා. ඒ බව යම් ප්‍රමාණයටකට තහවුරු වෙලා තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය හැසිරවීම සිදුකරන ආයතනයේ සේවකයෙකුද මේවනවිට අත්අඩංගුවට අරගෙන තිබෙනවා. එම සේවකයා මෙම සිද්ධියට වගකිව යුතු බවට පරීක්ෂණ වලින් තහවුරු වෙලා තිබෙනවා. එම ආයතනය සම්බන්ධයෙන් ද මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙනවා. නමුත් තවම සෞඛ්‍ය අමාත්‍යාංශය එම ආයතනය අසාදුගත ලේඛනයට ඇතුළත් කරලා නෑ. ඒ සම්බන්ධයෙන් අපට ගැටලුවක් තිබෙනවා.සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත මැකි යාම හමුවේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතල තත්ත්වයකට පත්වුණා.. කෙසේ නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මැකියාමට වගකිව යුතු මෙම ආයතනයට නැවත වතාවත් ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරිමේ ටෙන්ඩරය නැවත ලබාදීලා තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ තිබුණ දත්ත මැකි යාම පිළිබඳ එම ආයතනයට විරුද්ධව නඩුවක් විභාග වෙනවා. එම නඩුව විභාග වී අවසන් වනතෙක් රජයේ ව්‍යාපෘතිවලට සම්බන්ධ කර ගැනීම නතර කළේ නෑ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටියේ සභාපති ලෙස කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ කාලයේ මුද්‍රණාලාධිපති ලෙස කටයුතු කළ පුද්ගලයා. ඔහු අනිසි ලෙස බලය භාවිතා කිරීම හේතුවෙන් වැඩ තහනමට ලක්වුණ පුද්ගලයෙක්.බාල ඖෂධ ගෙන ඒම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්ලමේන්තුව ආණ්ඩුවේ ඇමැතිවරු ලඟටම ගිහින් කට උත්තර ගන්න කටයුතු කරනවා ” මුජබීර් වැඩි දුරත් කීය.
“සමගි ජන බලවේග රජයක් යටතේ සියලුම වංචා දූෂිතයන් නීතියේ ඉදිරියට ගේනවා. යහපාලන ආණ්ඩු සමයේ යට ගහපු නඩු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නඩු සියල්ල එළියට අරගන්නවා. වර්තමාන රජය තුළ සිදුවුණ වංචා දූෂණ සම්බන්ධයෙන් ද නීතිමට පියවර ගන්න කටයුතු කරනවා. ජනතා මුදල් හොරකම් කළ පිරිස් නිතිය හමුවට ගෙනල්ලා ඔවුන්ට දඩුවම් ලබාදී වංචා කළ මුදල් නැවත අය කර ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරනවා.” මුජබීර් පැවසීය.

නුවරඑළිය තැපැල් කාර්යාලයේ ඉරණම හා තරඟකාරී මිලගණන් කැඳවීම
ආන්දෝලනාත්මක නුවරඑළිය තැපැල් කාර්යාලය පුද්ගලික අංශයට විකිණීම සඳහා රජය ගත් තීරණයේ වෙනසක් වී නොමැත. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා තැපල්පතිවරයාත් අතර උණුසුම් තත්වයක් ඇතිවූ අතර අවසානයේ වැඩවර්ජන පවා දියත්විය.

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටුවීමට සුදුසු ගොඩනැගිලි 03ක් තැපැල් දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. එම ස්ථාන පරීක්ෂා කිරීමෙන් අනතුරුව තැපැල් දෙපාර්තමේන්තුව ලබා දෙන කැමැත්ත මත එහි තැපැල් කාර්යාලය පිහිටවීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතය.

යටත්විජිත යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විකිණීමට එරෙහිව පසුගිය කාලයේ දැඩි ජනතා විරෝධයක් එල්ල විය.2024 වසරේ ජනාධිපතිවරණයකට මුහුණදීමට සිටින ජනාධිපතිවරයා මෙවන් සිද්ධීන් සම්බන්ධයෙන් ජනතා අප්‍රසාදයට ලක්වීම බරපතල කාරණයකි. අතීතයේ සිටම රජවරුන් පවා ජනතා හඬට කන්දුන් අවස්ථා බොහෝය. එය කිසිවකුට දෙවැනිවීමක් නොවේ. අනෙක් අතට මේවා මහජන දේපල වන අතර පාලකයන් යනු තාවකාලික භාරකරුවන් පමණි. එසේම අනාගත වෙනත් රජයක් තුල මෙවැනි ගිවිසුම් ආපසු හැරවිය හැකි බවද මේවා ලබා ගන්නා ආයෝජකයන්ද දැනගත යුතුය. ලොව දියුණු රටවල් පවා පුරාවිද්‍යා ස්මාරක වලට ඇත තබන්නේ නැත. රජයට අවශ්‍ය නම් කල යුත්තේ තැපැල් දෙපාර්තමේන්තුව යටතේම මෙය තබා ගෙන නාගරික සංවර්ධන අධිකාරිය හරහා එහි සංචාරක නිකෙතනයක්ද ඉදිකර එය පවත්වා ගෙන යාමය. ලාභය තැපැල් දෙපාර්තමේන්තුවටත් නාගරික සංවර්ධන අධිකාරියටත් බෙදා ගත හැක. එවැනි පියවරක් ගතහොත් ජනාධිපතිවරයාට එල්ලවූ විරෝධයද පහව යනු ඇත. එසේම මෙවැනි රජයේ දේපල විකිණීමේදී ඒ සඳහා තරඟකාරී මිල ගණන් කැඳවා වැඩිම ලංසුවට ලබාදීම හා පසු විපරම් සිදු කිරීම හෝ කල යුතුව තිබේ.

අනුර කුමාරගේ මාතර සමුළුවට විශාල කාන්තා සහභාගිත්වයක්
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මේ වන විට සමාජ මාධ්‍ය ජාල වල බලය හිමිකර ගෙන තිබේ.එය සමාජ ජාල පරිහරණයේදී දැකිය හැක. රටපුරා එක රැයකින් පෝස්ටර ඇලවීම වැනි හැකියාවන් ද ඔවුන් සතුය. මැතිවරණ වලදී ඒවා තීරණාත්මකය.
අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා මාතර පැවැති කාන්තා සමුළුවට විශාල කාන්තා සහභාගිත්වයක් තිබීම කැපී පෙනෙන සිදුවීමක් විය.
මෙහිදී රංගන ශිල්පිනියන් වන දිල්හානි ඒකනායක හා දීපානි සිල්වාත් ජාතික ජන බලවේගයේ වේදිකාවට එක් වීම නළුනිලියන්ද ඊට සම්බන්ධවන බවට පැහැදිලිව පෙන්නුම් කරන්නකි. වෘත්තිකයන් පිරිසක්ද දැනටමත් ජාජබ වෙත ආකර්ෂණය වී ඇති අතර ඔවුන්ගේ අරමුණ ජාජබ ලවා රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමය.

ජනතාවට හතේ හත – කෑමබීම -බෙහෙත් -අධ්‍යාපනය ප්‍රශ්නයක්

නිදහසින් පසුව ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට මෙරට පවුල් සියයට 60 කට වැඩි ප්‍රමාණයක මාසික ආදායම පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

පවුල් සියයට 60 කට වැඩි ප්‍රමාණයක මාසික අදායම මෙලෙස අඩු වෙද්දී පවුල්වලින් සියයට 91 ක සාමාන්‍ය මාසික වියදම ඉහළ ගොස් තිබේ.නමුත් ආදායම අඩුවූ පවුල්වලින් සියයට 73 ක් කිසිම ක්‍රියා මාර්ගයක් ඒ වෙනුවෙන් ගෙන නොමැති බවත් සියයට 6 ක් අමතර අදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇත. ණය ලබා ගැනීම, උකස් කිරීම, අනෙක් අයගෙන් ආහාර හෝ මුදල් ඉල්ලා ගැනීම ඊට විසඳුම් ලෙස භාවිතා කර ඇත.

මාසික වියදම වැඩි වූ පවුල් අතරින් සියයට 99 කගේ ආහාර වියදම ඉහළ ගොස් ඇති බවත් සියයට 83 කගේ ගමනාගමන ගාස්තු ඉහළ ගොස් ඇත.මෙරට පවුල්වලින් සියයට 22 ක් ආර්ථික අර්බුදය හේතුවෙන් ණය බරින් පීඩිත වී ඇති බවත් වයස අවුරුදු 3ත් 21 ත් අතර සියයට 54 කගේ අධ්‍යාපනයට ආර්ථික අර්බුදය බලපෑමක් එල්ල කර ඇත.

අධ්‍යාපනයට බාධා එල්ල වූ අය අතරින් සියයට 53 ක් ලිපිද්‍රව්‍ය වලට යන වියදම අවම කර හෝ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමෙන් වැළකී ඇති බවත් සියයට 44 ක් අලුත් නිල ඇඳුම් මිලදී ගැනීමට යන වියදම කපා හැරීමට හෝ මිලදී නොගෙන සිටීමට යොමු වී ඇත.

ආර්ථික අර්බුදය පැවැති කාල සීමාවේදී සියයට 29 ක පමණ ජනතාවක් රෝගයන්ට ගොදුරු වී ඇති බවත් ඉන් සියයට 7 ක් සෞඛ්‍ය ප්‍රතිකාර ගන්නා ක්‍රියාපටිපාටිය ආර්ථික අර්බුදය හේතුවෙන් වෙනස් කර ඇත.එම රෝගීන් පිරිසෙන් සියයට 35 ක් ප්‍රතිකාර ගන්නා ස්ථානය වෙනස් කර ඇති අතර සියයට 33 ක් රෝගය උත්සන්න වූ පසු පමණක් ඖෂධ ගැනීමට පෙළඹී ඇති බවත් එම සමීක්ෂණයේදී හෙළි වී ඇත.ප්‍රතිකාර ගැනීමේ ක්‍රියාපටිපාටිය වෙනස් කිරීමට මූලික හේතුව ලෙස සියයට 81 ක් සඳහන් කර ඇත්තේ මුදල් නොමැතිකමය.

ඉන්ධන භාවිතයත් අඩු කරලා -ඉන්ධන හල වැසී යාමේ අවදානමක්
මේ අතර ඉන්ධන මිල අඩු මුදලක පැවැති උත්සව සමයෙන්ට සාපේක්‍ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන අළෙවිය සියයට 40 ත් 50 ත් අතර ප්‍රතිශතයකින් පහළ බැස ඇත.සමස්තයක් ලෙස ගත්විට සාමාන්‍ය දිනවල ද ඉන්ධන අළෙවිය ඉන්ධන මිල අඩු මුදලක පැවැති කාලයට සාපේක්‍ෂව සියයට 40 කින් පමණ පහළ ගොස් ඇත . ඉන්ධන මිල ඉහළ යෑම නිසා ජනතාව ගමන් බිමන් සීමා කිරීම සහ වැඩි වශයෙන් පොදු ප්‍රවාහන පාවිච්චි කිරීම මෙයට හේතු වී ඇත.
පිරවුම්හල්වල ඉන්ධන තොග රඳවාගත්තද අළෙවිය පහළ මට්ටමක පවතින අතර අළෙවි පහළ ගිය ද ඉන්ධන පිරිවුම්හල් හිමියන් විදුලි බිල සහ සේවක වැටුප් ආදි වියදම් අනිවාර්යෙන්ම දැරිය යුතු නිසා ඒ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වැසී යෑමේ අවදානමක් ඇති වී තිබේ.\
මෙවර උත්සව සමයේදී බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමට ලක්වී ඇති අතර නත්තල් උත්සවයේදී කේක් අළෙවිය සියයට 75 කින් පමණ අඩුවී ඇත.

මෛත්‍රී චන්ද්‍රිකා එක්වෙයි – චන්ද්‍රිකාට ශ්‍රීලනිප ලොකු තනතුරක් – දයාසිරි කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර තවත් ධූරයකින් ඉවත් කර තිබේ. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකත්වයෙනි.දයාසිරි ජයසේකර වෙනුවට වයඹ පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වෙඩරුව කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වයට පත් කරන ලෙසට එම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන, සම හා දිස්ත්‍රික් සංවිධායකවරුන් හිටපු ජනපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඒකමතිකව ඉල්ලීමක් කර තිබිණි.එම ඉල්ලීම පක්ෂ නායකයාගෙන් කර තිබෙන්නේ හිටපු ජනපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් බිංගිරියේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධානයේ හමුවේදීය.
එම හමුවට ගිය හිටපු ජනාධිපතිවරයා ඵෙතිහාසික බිංගිරිය දේවගිරි රජමහා විහාරය වැදපුදා ගත් අතර ඉන්පසු විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය පඩිවෙල සෝරත නාහිමියන් බැහැ දකින ලදී. 2018 වර්ෂයේ දී ජාතික වෙසක් මහෝත්වය බිංගිරිය දේවගිරි රජමහා විහාරයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.

මේ අතර හිටපු ජනාධිපතිවරයා සිය ගම් පියස වන පොළොන්නරුව බලා පිටත් ව ගොස් තිබූ අතර එහිදී උත්සව කිහිපයකටද සහභාගී වීමට නියමිත අතර නව වසරේ 01 වැනිදා පොළොන්නරුව සිය නිවසේ කාලය ගත කිරීමට නියමිතය.
මේ අතර ලබන ජනවාරී 08 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පක්ෂ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කැඳවා ඇත.එහිදී දැඩි තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක නැවත පක්ෂයේ ප්‍රබල තනතුරක් ලබා දී පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයට එක් කර ගැනීමේ යෝජනාවද සූදානම් කර ඇත.

තිලංග ගැන තද තීරණයක් ?
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල විවිධ සාකච්ඡා සහ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව දැඩි තීන්දුවක් ගැනීමට නියමිතය. සන්ධානයේ පක්ෂ නායකයින් ජනවාරී මාසයේදීම රැස්වී දැඩි තීන්දුවක් ගැනීමට නියමිත අතර සන්ධානයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස මහජන එක්සත් පෙරමුණේ නායත අගමැති දිනේෂ් ගුණවර්ධන සන්ධානයේ නායක, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඒ සඳහා සියලු පක්ෂ නායකයින් දිනයක් වෙන් කර ගැනීමට කාලය ගැනීම නිසා කල් ගිය අතර ලබන ජනවාරියේ එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතය.

පොහොට්ටුවේ අපේක්ෂකයාට කොන්දේසි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා සලකා බලමින් සිටින අපේක්ෂකයින්ට කොන්දේසි 10 ක් ඉදිරිපත් කර ඇත.

1. ජනාධිපතිවරණයේදී 51% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම සඳහා අනෙකුත් දේශපාලන පක්ෂ, කණ්ඩායම්, සිවිල් සංවිධාන සමග සන්ධානගත වීමේ වැඩපිළිවෙල ඉදිරිපත් කළ යුතුය

2. ලෝකයේ අනෙකුත් රටවල් සමග තරග කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් රටේ සිසු පරපුරට ලබාදීමට අදාළ වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. එමෙන්ම ලෝකයේ ඕනෑම රටක රැකියාවක නිරත විය හැකි පරිදි මෙරට වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට උසවා තැබිය යුතුය

3. ගොවි ජනතාව සඳහා ලබාදෙන පොහොර සහනාධාරය වැඩිකිරීම, නව දෙමුහුන් බීජවර්ග හඳුන්වාදීම තුළින් අස්වනු වැඩිකිරීම, පාංශු පරීක්ෂණ පත‍්‍රිකාව (soil health cards) පදනම් කරගත් පොහොර නිර්දේශ ක්‍රමයක් හඳුන්වාදීම යනාදිය ඔස්සේ කෘෂිකර්මාන්තය සංවර්ධනය කරමින් ස්මාර්ට් කෘෂිකර්මාන්තයක් බිහිකිරීමේ වැඩපිළිවෙල ඉදිරිපත් කළ යුතුය

4. ග්‍රාමීය ප්‍රදේශවල සහ නාගරික ප්‍රදේශවල දිළිඳුකම තුරන්කිරීම සඳහාත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කිරීම සඳහාත් එම ප්‍රදේශවලට මුදල් ගලා එන වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. ඒ අනුව ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශවල ජනතාවට රැකියා දස ලක්ෂයක් බිහිකරන වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. ඉහත වැඩපිළිවෙලවල් වලින් සෑම පුද්ගලයකුටම නිශ්චිත ආදායම් මාර්ගයක් ලබාගැනීමට හැකි බව සහතික කිරීම

5. ආර්ථික වර්ධන වේගය 7% දක්වා වැඩි කළ යුතු අතර ආර්ථිකය ප්‍රසාරණය කළ යුතුය. ඒ සඳහා දේශීය සහ විදේශ ආයෝජන ආකර්ෂණය කරගනිමින් නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ වැඩපිළිවෙල සකස් කළ යුතුය

6. බඩු මිල සහ ජීවන වියදම ජනතාවට දරාගත හැකි මට්ටමක් දක්වා අඩු කළ යුතුය. දැනට ජනතාව මත දැඩි පීඩනයක් ඇතිවන පරිදි පනවා ඇති VAT බද්ද අඩු කළ යුතුය.

7. රජය සතු ව්‍යාපාර හෝ රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය නොකළ යුතුය. එමෙන්ම දැනට පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ලාබ ලබන තත්වයට පත්කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. සියලුම මහජන සේවාවන් සඳහා ඒකාබද්ධ තොරතුරු සන්නිවේදන තාක්ෂණ වේදිකාවක් පිහිටුවිය යුතුය. වංචා සහ දූෂණ සිදු නොවන පරිදි රජයේ සියලුම මිලදී ගැනීම් සහ ටෙන්ඩර් පටිපාටි සඳහා ලෝකයේ වෙනත් රටවල මෙන් විනිවිදභාවයෙන් යුතු මහජනයාට තොරතුරු දැකගත හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතුය. වංචා සහ දූෂණ පිටුදැකීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය

8. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 17 ම අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේදී පළමු 1000 අතරට ගෙන ඒම සඳහා එම විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම රැකියා විරහිත උපාධිධාරීන් නැවත බිහි නොවීම සඳහා එම විශ්වවිද්‍යාලවල පාඨමාලාවන් ජාත්‍යන්තර රැකියා වෙළඳපොලට ගැලපෙන පරිදි සකස් කළ යුතුය

9. සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකාවට වසරකට සංචාරකයින් ලක්ෂ 50ක් ගෙන්වා ගැනීමේ ඉලක්කය සහිතව ඊට අදාළ සැලැස්මක් ඉදිරිපත් කළ යුතුය

10. ශ්‍රී ලංකාවට යළි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දීමට සිදු නොවන පරිදි ඩොලර් ඉපයීමේ උපායමාර්ග සහිත නිශ්චිත නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතුය. විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ වැඩිකරගැනීමේ උපායමාර්ග සහ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ලැබෙන ආදායම වැඩිකරගැනීමේ උපායමාර්ග සකස් කළ යුතුය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂත්වය හිමිවන්නේ මෙම සියලුම කොන්දේසි සම්පූර්ණ කළ හැකි අපේක්ෂකයකුට පමණි.

ලන්සා- නලීන් බරටම වැඩ
ජනපති රනිල් වික්‍රමසිංහ වෙත සහය දෙන නිමල් ලන්සා ගේ නව සන්ධානයේ ජනාධිපතිවරණ මෙහෙයුම් සටන මෙන්ම ප්‍රචාරණ කටයුතු ලබන ජනවාරි මස පළමු වැනිදා පෙරවරුවේ රාජගිරිය ලේක් ඩ්‍රයිව්හි පිහිටි පක්ෂ කාර්යාලයේදී සුභ මොහොතින් ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර තිබේ.
ඒ නව සන්ධානයේ මෙහෙයුම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා , නිමල් ලන්සා සහ වෙළඳ ඇමති නලීන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙනි.
මේ සඳහා නව සන්ධානයට එකතුවී සිටින සියළු වෘත්තීය සමිති නියෝජිතයින්ට දැනටමත් පක්ෂ කාර්යාලය විසින් ආරාධනා පත් යවා තිබේ.ලබන වසරේ පළමුව පැමිණෙන්නේ ජනාධිපතිවරණයක් බවත් ඊට මුහුණ දීම සඳහා නව සන්ධානය වෙනත් කිසිදු සංවිධානයකට නොදෙවෙනි බලවේගයක් නිර්මාණය කිරීම අපේක්ෂාව බව නිමල් ලන්සා පවසයි.
එහි පළමු පියවර 2024 ජනවාරි පළමු වැනිදා පක්ෂ කාර්යාලයේ කටයුතු වලින් ඇරඹීමට නියමිතය.

ඖෂධ හිඟයක් – කන්ටේනර් 50 ක් හිරවෙලා – මහමොලකරුවන් දෙදෙනා නිදැල්ලේ
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල නිලධාරීන් අත්අඩංගුවට ගැනීමත් සමග මේ වන විට ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ ලියාපදිංචිය නවතා දමා තිබේ.මේ නිසා ඖෂධ තොග රේගුවෙන් මුදාගත නොහැකිව වරායේ සිරවී තිබේ. මේ වන විට කොළඹ වරායේ ඖෂධ කන්ටේනර් පනස් ගනනක් සිරවී ඇත. රජයේ රෝහල් වල ඖෂධ වර්ග 253 ක හිඟයක් මේ හේතුවෙන් දැනට ඇතිවී තිබෙන අතර ජනවාරි මාසය වන විට ඖෂධ වර්ග 365 ක් දක්වා එම හිඟය වැඩි වීමට නියමිතය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ බරපතල ව්‍යසනයට වගකිවයුතු බවට චෝදනා එල්ල වී ඇති පිරිසට අමතරව මේවයේ සැබෑ මහා මොළකරුවන් දෙදෙනා තවමත් නිදැල්ලේ සිටින බවට සෞඛ්‍ය අංශවල දැඩි කතාබහක් ඇතිවී තිබේ. ඒ එක්තරා රාජ්‍ය ඇමතිවරයකු සහ ඔහුගේ කාලයේ අමාත්‍යංශයේ ලේකම්වරයෙකු වූ වෛද්‍යවරයෙකි. එදා මේ දෙදෙනා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාත්මකවූ ඖෂධ තොග හා මිලදී ගැනීම් සම්බන්ධ පරිඝනක ජාල ගත ක්‍රමවේද මෘදුකාංගය අඩපන කර ඉවත් කලේ සිත්සේ හදිසි මිලදී ගැනීම් සිදු කර හොර ජාවාරම් රැසක් කරන්නටය. එහෙත් හදිසියේ සිදුවූ දේශපාලන වෙනස නිසා තනතුරු අහිමිවූ මේ දෙදෙනාගේ වැඩපිළිවෙල නිසා ලොතරැයියක් ඇදුනේ ඉන්පසු පැමිණි ඇමතිට හා නිලධාරීන්ටය. එහෙත් අද ඒ ලොතරැයිය නිසා මේ සියලුදෙනාගේ ජීවිත වල ඉතිරි කාලය සිර කුටියකට සිරවී සිටින්නට සිදුවේද නොවේද යන තීරණය අද ඇත්තේ අධිකරණය ඉදිරියේය. එහෙත් මහමොලකරුවන් දෙදෙනා තවමත් නිදැල්ලේය .

ජනිත සෙනෙවිරත්න

Share with your friends :