27 C
Colombo
24/09/2024

බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළ වෛද්‍යවරුන් දෙදෙනෙක් විදේශගත වෙලා

Share with your friends :

බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත්වූ වෛද්‍යවරුන් දෙදෙනෙකු රටින් පිටව ගොස් ඇත.
මේ බව අනාවරණය වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ පසුගියදා අධිකරණයට සිදු කල කරුණු දැක්වීම් වලදීය.
වෛද්‍ය ජයනාත් බුත්පිටිය හා වෛද්‍ය සුදර්ශන මෙසේ විදේශ ගතවී ඇත.

අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගැයුම් කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතාගෙන් ප්‍රකාශයක් ගත් බවත් ලේඛන පරික්‍ෂා කිරීමට අවශ්‍ය බවට ඔහු කළ දැනුම්දීමකට අනුව එම ලේඛන පරීක්‍ෂා කර බලා වැඩිදුර ප්‍රකාශයක් ගැනීමට නියමිතව සිටියදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අවසරය මත පෞද්ගලික සංචාරයක් සඳහා ඔහු විදේශගත වී ඇති බව පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම සඳහන් කර තිබේ.

ඔහු යළි ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියම කරන්නැයි ඇය අධිකරණයෙන් ඉල්ලා ඇත.
එම අවස්ථාවේදී අධිකරණය ඇමතූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඔහුට රටින් පිටවීම තහනම් කරමින් විදේශ ගමන් තහනමක් පනවා තිබුණා නේදැයි කළ විමසීමකට පිළිතුරු දුන් ලක්මිණී ගිරිහාගම ඒ වන විටත් ඔහු විදේශගත වී තිබුණේ යැයිද අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගැයුම් කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කළ වෛද්‍ය සුදර්ශනද ඊට පෙර විදේශගත වී ඇතැයි පවසා තිබේ.

එම අවස්ථාවේදී අධිකරණය ඇමතූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය මෙම කටයුත්තට මැදිහත්වීමට අධිකරණයට අවශ්‍යතාවක් නැතැයිද ඔහු යළි ගෙන්වා ගැනීමට ආයතන සංග්‍රහය යටතේ කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට දැනුම් දෙන්නැයිද සඳහන් කර ඇත. ඔහු අවශ්‍ය පියවර නොගතහොත් ඒ අවස්ථාවේදී අවශ්‍ය නියෝග දීමට හැකියාවක් ඇතැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය පෙන්වා දී ඇත.

Share with your friends :