27 C
Colombo
20/01/2025

සජිත්ට-රංජිත්ට එරෙහි පෙත්සම විසිවෙයි

Share with your friends :

නිත්‍යානුකූල හැකියාවක් නොමැති හෙයින් එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (24) ප්‍රතික්ෂේප කළේය.

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් සමගි ජනබලවේගය පක්‍ෂයේ තනතුරු වල කටයුතු කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ගොනුකළ පෙත්සමකට අදාළ තීන්දුව දෙමින් දිසා විනිසුරුවරයා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

ඩයනා ගමගේ මහත්මිය ගොනුකළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් නම් කොට තිබිණී.

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරන බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් පැවරූ නඩු අධිකරණ වල තවමත් විභාග වෙමින් පවතින බවත් සඳහන් කරන ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයින්ට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය දැරිය නොහැකි බවද පෙන්වා දුන්නාය.

වගඋත්තරකාර සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන හෙයින් ඔවුන්ට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය මෙන්ම තනතුරු දැරීමට හැකියාවක් නොමැති බවට තීන්දු කොට ඔවුන් එම ධුර වල කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියාය.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විභාගය අවසානයේදී සිය තීන්දු ප්‍රකාශයට පත් කළ දිසා විනිසුරුවරයා පෙත්සම්කාරිය ඇතැම් කරුණු වසන් කිරීමට කටයුතු කර ඇතැයයි අනාවරණය වී ඇතැයි පෙන්වා දුන්නේය.

වගඋත්තරකරුවන් අදාළ ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ දිසා විනිසරුවරයා නඩුවට අදාල උත්තර ලබන වසරේ පෙබරවාරි 12 වැනිදා ගොනු කිරීමට පාර්ශවකරුවන්ට නියම කළේය”

Share with your friends :