27 C
Colombo
19/01/2025

ජනපති රනිල් – රවී සමග බදාදා උතුරු කොළඹ ජනතාව හමුවට

Share with your friends :

විවිධ නාගරික වැඩසටහන් යටතේ ඉදිකොට අඩු ආදායම් පවුල්වලට රුපියල් 3,000 ක මාසික කුලිය මත ලබා දී ඇති නිවාස සඳහා කුලී අය කිරීම අත්හිටුවා එම නිවාසවල අයිතිය එම පවුල්වලට ලබාදීමට ක්‍රියා කරන බව 2024 ජනාධිපතිවරයා සිය අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබිණි.

2024 වර්ෂයේ දී පවුල් 50,000 කට ආසන්න සංඛ්‍යාවකට මෙම නිවාසවල අයිතිය ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන බදාදා (22) උතුරු කොළඹ ප්‍රදේශයේ එසේ නිවාස හිමිකාරිත්වය ලැබුණු ජනතාව හමුවීමට යාමට නියමිතව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා සමගය.

පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී කොළඹ දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු රවී කරුණානායක හට පැවරුණු අතර මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන්නට නියමිත ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකද සම්බන්ධ කරගෙන එම කටයුතු සිදු කරන ලෙස දන්වන ලදී. ගම්පහ සහ කෑගල්ල සංවිධාන කටයුතු පැවරුනේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන හටය. වයඹ පළාත හා මාතලේ දිස්ත්‍රික්කය උප නායක අකිල විරෝජ් කාරියවසම් හට භාර විය.පාලිත රංගේ බණ්ඩාර උතුරු මැද සහ නැගෙනහිර පළාතේ කොටසක් භාර විය. අම්පාර දිස්ත්‍රික්කය දයා ගමගේ සහ අනෝමා ගමගේ හට භාර විය.බදුල්ල සහ මොනරාගල හරින් ප්‍රනාන්දු හටද ,වජිර අබේවර්ධන හා මනුෂ නානායක්කාර හට දකුණු පළාත භාර විය. මහනුවර භාර වුයේ මනුෂ ට හා සාගලටය. රත්නපුර හා කළුතර ද පැවරුනේ වජිරටය.
එසේම සෑම ආසනයක්ම තුනකට කඩා කලාප සංවිධායකවරු පත් කිරීමටද මෙහිදී තීරණය කෙරිණි. මැතිවරණ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් තවත් වැදගත් තීරණ කීපයක් ලබන සඳුදා ගැනීමටද නියමිතය. මෙවර එක්සත් ජාතික පක්ෂය පුළුල් සන්ධානයක් ලෙස මැතිවරණ වලදී තරඟ කරන්නට නියමිත අතර එහිදී ගැටළු මතු නොවන ආකාරයට අනෙකුත් පක්ෂ සඳහාද අවස්ථා ලබා දෙමින් කටයුතු කරන්නට නියමිතය.

Share with your friends :