27 C
Colombo
19/01/2025

IMF දෙවන වාරිකය දෙසැම්බරයේ

Share with your friends :

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවන ණය වාරිකය නිදහස් කිරීම දෙසැම්බර් මාසය වන විට සිදුවනු ඇතැයි විශ්වාස කරන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

2024 සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අයවැය කෙටි කාලීන ලාභ අපේක්ෂාවලින් තොර කඩා වැටුණු ජාතික ආර්ථිකය ගොඩ නැගීමේ දිගු කාලීන වැඩපිළිවෙලක ආරම්භයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදලට වඩා අපට වැදගත් වන්නේ ඒ හරහා අනෙකුත් ණය දෙන්නන් අප කෙරෙහි තබන විශ්වාසයයි. ඒ හරහා වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීමේ අවස්ථාව අපට හිමි වනවා. ඒ වගේම අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කරගත් පසු රටේ ඇනහිට ඇති සියලුම සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට හැකි බවද සඳහන් කළ යුතුය.

මේ අතර චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟ වූ කොන්දේසි අනෙකුත් ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හුවමාරු කරගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බ්ලූම්බර්ග් වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇත.

එම කොන්දේසි අධ්‍යනය කර ඉන්දියාව,ජපානය සහ පැරිස් සමාජයේ ප්‍රධානත්වයෙන් යුත් ද්වි පාර්ශ්වික ණය හිමියන්ගේ නිල කමිටුවද ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුමක් යෝජනා කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම සම්මුඛ සාකච්ඡා පවසා තිබේ.

එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ දෙවැනි වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක පමණ මුදල වසර අවසාන වීමට පෙර ලබාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

Share with your friends :