27 C
Colombo
20/01/2025

ඉන්දියන් සාගර කලාප සහයෝගය කාටවත් වනසන්න බෑ

Share with your friends :

අතීතයේ සිට සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවල්වලට නැඟී එන ලෝක ආර්ථිකයේ පුළුල් භූමිකාවක් පැවරී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආවේණික සංස්කෘතික, වෙළෙඳ හා එකිනෙකට බැඳුනු ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ඉන්දියන් සාගරයේ සහයෝගීතාව කිසිවකුට විනාශ කළ නොහැකි අතරම එය කිසිවකුටත් අතුගා දැමිය නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල ජෙට්වින් හෝටලයේ පැවති “ගාලු කතිකාව 2023 – ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව ” අමතමිනි.

“ඉන්දියානු සාගරයේ මතුවන නව පිළිවෙල” කේන්ද්‍රීය තේමාව යටතේ ජාත්‍යන්තර සංවිධාන 11ක සහ රටවල් 44ක සමුද්‍රීය නියෝජිතයින්ගේ හා නාවික හමුදා ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව අද(12) සහ හෙට (13) පැවැත්වෙයි.

දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූ පසුව එයින් ලබාගත් අත්දැකීම් ලෝකය සමඟ බෙදා ගැනීම සඳහා 2010 වසරේ ආරම්භ කෙරුණු “ගාලු කතිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව” මෙම වසරේ දී පවත්වනු ලබන්නේ එකොළොස් වන වතාවටය.

කලාපීය සහ ගෝලීය නායකයින් එකම වේදිකාවකට සහභාගී කරගෙන නාවික, පාරිසරික , සමුද්‍රීය සහ දේශපාලනික කතිකාවතක් ඇති කිරීම හා කලාපීය සහ ගෝලීය ගැටලු සාකච්ඡා කිරීම සහ ඊට විසදුම් සොයාගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.

Share with your friends :